May 30, 2026

ලබන සැප්තැම්බර් මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත ඇපල් (Apple) සමාගමේ නවතම iPhone 18 Pro මාදිලිය, නවතම වර්ණ කිහිපයකින් සහ සියුම් සැලසුම් වෙනස්කම් රැසකින් සමන්විත වනු ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන MagSafe ආවරණ (Cases) සහ වීඩියෝ දර්ශන මඟින් මෙම නව මාදිලියේ වර්ණ සහ හැඩය පිළිබඳ මූලික ඉඟි කිහිපයක් අනාවරණය වී තිබේ.

මෙවර Pro මාදිලියේ විශේෂත්වය වන්නේ ඇපල් සමාගම සාම්ප්‍රදායික ‘කළු’ (Black) වර්ණය වෙනුවට සුවිශේෂී වර්ණ පෙළක් හඳුන්වා දීමට කටයුතු කිරීමයි.

ඒ අනුව, මෙවර ප්‍රධානතම වර්ණය ලෙස වයින්-රතු පැහැයට හුරු ‘Dark Cherry’ වර්ණය හඳුන්වා දීමට නියමිත අතර, එය පෙර පැවති Cosmic Orange වර්ණය වෙනුවට භාවිත වනු ඇත.

මීට අමතරව Light Blue (Sky Blue), Dark Gray සහ සම්ප්‍රදායික Silver යන වර්ණවලින් ද මෙම දුරකථන මිලදී ගත හැකි වනු ඇතැයි පැවසේ.

බාහිර පෙනුමේ වෙනස්කම්වලට අමතරව, iPhone 18 Pro මාදිලිය සඳහා ප්‍රමාණයෙන් කුඩා Dynamic Island එකක් සහ වඩාත් දිගටි තිරයක් (Display) ඇතුළත් වනු ඇත.

විශේෂයෙන්ම Pro Max මාදිලියේ තිරය අඟල් 7කට ආසන්න වනු ඇතැයි වාර්තා වේ.

තාක්ෂණික අතින් ද ඉහළ උසස්වීම් රැසක් සිදු කර ඇති මෙම දුරකථන මාලාව, 2nm තාක්ෂණයෙන් නිපදවන ලද නවතම A20 Pro චිප්සෙට් එකෙන් සහ චන්ද්‍රිකා සන්නිවේදනය (Satellite Connectivity) වැඩිදියුණු කළ C2 මෝඩමයකින් බලගැන්වීමට නියමිතය.

එමෙන්ම මෙහි කැමරා පද්ධතිය ද විචල්‍ය විවර (Variable Aperture) තාක්ෂණයෙන් යුක්තව ඉහළ මට්ටමකට සංවර්ධනය කර ඇත.

කෙසේවෙතත්, මෙම තොරතුරු සැපයුම් ජාලයන්හි මූලික මූලාකෘති (Prototypes) ඇසුරින් ලැබී ඇති බැවින්, සැප්තැම්බර් මාසයේ නිල දියත් කිරීමට පෙර මෙහි ඇතැම් විශේෂාංග සහ මානයන් තවදුරටත් වෙනස් වීමේ හැකියාවක් පවතින බව ක්ෂේත්‍ර නිරීක්ෂකයෝ පවසති.