September 2, 2026

ආධුනික පොලිස් කොස්තාපල්වරියක ලෙස සේවයට බැඳීමට අයදුම් කළ වැලිමඩ මීරහවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකගේ රහස් පෙදෙසේ කැලැල් පිළිබඳ වාර්තාවක් ලබා ගත යුතු බව පවසමින් ඇගේ නිවසට පැමිණ එම තරුණියගේ රහස් පෙදෙස අත ගෑ බව කියන රාජ්‍ය බුද්ධි අංශයේ බණ්ඩාරවෙල බුද්ධි කාර්යාලයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලිසිය පවසයි.

තමා ආධුනික පොලිස් කොස්තාපල් සේවයට අයදුම් කර තිබූ අතර ලබන 09 වනදා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කැඳවා තිබූ බවත්, ඊයේ (01) සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරියෙකු තම නිවසට පැමිණ වෛද්‍ය පරීක්ෂණයට යාමට පෙර රහස් ප්‍රදේශයේ ඇති කැලැල් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට අවශ්‍ය කරන බව පැවසූ අතර එම වාර්තාව ලබා නුදුනහොත් තමාට රැකියාව නොලැබෙන බව දන්වා සිටි බවත් මෙම තරුණිය පොලිසියට කරන පැමිණිල්ලේ සඳහන් වේ.

මෙහිදී ඔහුගේ ඉල්ලීමට අනුව සාලයට පැමිණ පුටුවේ ඉඳගත් පසු ගවුම උස්සා රහස් ප්‍රදේශය අත ගෑ බවත් එම අවස්ථාවේ ඔහුගේ අතගසා දමා කුස්සියට ගොස් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම මවට ප්‍රකාශ කළ බවත් පැමිණිලිකාරිය වැඩිදුරටත් සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

(ලංකාදීප)