August 2, 2026

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව ලබා දී ඇති සමස්ත සහනාධාර සහ සංවර්ධන සහය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5 සීමාව ඉක්මවා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය තහවුරු කරයි.

කොළඹදී පැවැති විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සඳහන් කළේ, මෙම ආධාර අතුරින් ඩොලර් මිලියන 850 කට අධික ප්‍රමාණයක් ආපසු අය කර නොගන්නා පූර්ණ ප්‍රදානයන් ලෙස ලබා දී ඇති බවයි.

මෙම සංවර්ධන ව්‍යාපෘති දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වෙත විහිදී ගොස් ඇත.

නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, මාර්ග සහ දුම්රිය ප්‍රවාහනය, පුනර්ජනනීය බලශක්තිය, වරාය සංවර්ධනය මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රය දක්වා පුළුල් පරාසයක මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව දරුණු ආර්ථික කඩාවැටීමට ලක්වූ අවස්ථාවේදී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහන වැඩසටහන ක්‍රියාත්මක වීමටත් පෙරම ඉන්දියාව පෙරට පැමිණියේය.

ඉන්ධන, අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය කඩිනමින් ලබා දෙමින් රටේ ආනයන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ වීම වැළැක්වීමට මැදිහත් විය.

මෙම සහයෝගීතාවය තුළින් උතුරු-නැගෙනහිර පළාත්, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශයන්හි යටිතල පහසුකම්, බලශක්ති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ඉන්දීය ආයෝජන තවදුරටත් පුළුල් කිරීමට ශක්තිමත් මගක් පෑදී ඇත.