September 9, 2026

ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං අද කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී සාකච්ඡාවක නිරත විය.

එම සාකච්ඡා ඉතා සාර්ථක වූ බව විස්තර කළ ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා දෙරට අතර පවතින සමීප සබඳතාව සහ සහයෝගීතාව නැවත වරක් තහවුරු කළේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සුභපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සිය සුභාශිංසන එක්කළේය.

“සංස්කෘතිකමය වශයෙන් එකිනෙකට බැඳුණු, සමීප අසල්වැසි සහ සාගරික පාර්ශවකරුවන්” ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරටේ සංවර්ධනය සහ ජනතාවගේ යහපත උදෙසා එක්ව කටයුතු කිරීමට කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය.

කලාපය පුරා ආරක්ෂාව, සාමය සහ සමෘද්ධිය තහවුරු කිරීම සඳහා වන කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට දෙපාර්ශවයම නැවතත් එකඟතාව පළකළ බව ආරක්ෂක ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සෙප්තැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණියේය.