March 19, 2026

මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ලොව ප්‍රමුඛතම පොහොර ආනයනකරුවෙකු වන ඉන්දියාව, රුසියාව, බෙලරුස් සහ මොරොක්කෝවෙන් පොහොර මිලදී ගැනීම් වැඩි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව රජයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසයි.

කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වන ඉන්දියාව, යූරියා (Urea), ඩී.ඒ.පී. (DAP) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (Muriate of Potash) මෙන්ම යූරියා නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන ද්‍රව ස්වභාවික වායුව (LNG) ද ආනයනය කරයි.

ඉන්දියාවේ ඩී.ඒ.පී. සහ යූරියා ආනයනයෙන් අඩක් පමණ සපයනු ලබන්නේ මැදපෙරදිග රටවල් විසිනි. එහිදී සෞදි අරාබිය ප්‍රධානතම ඩී.ඒ.පී. සැපයුම්කරු වන අතර ඕමානය ප්‍රධානතම යූරියා සැපයුම්කරු වේ.

කෙසේවෙතත් මැදපෙරදිග ගැටුම් හමුවේ ඉන්දීය බලධාරීන් පවසන්නේ පසුගිය වසරට වඩා වැඩි තොගයක් රට තුළ පවතින නමුත් යුද්ධය දිගු කලක් පැවතුනහොත් සැපයුම සීමා විය හැකි බවයි.

එබැවින් ඉදිරි මාස කිහිපය තුළ වැඩිපුර තොග ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ අනෙකුත් රටවල් සමඟ සම්බන්ධ වෙමින් සිටින බව ද ඔවුහු පවසති.

ඉන්දියානු සමාගම් තම අවශ්‍යතා සපුරාලීම සඳහා තනි තනිව පොහොර ආනයනය කළද, මෙම ක්ෂේත්‍රය දැඩි ලෙස නියාමනය කර ඇති බැවින් සහ රජය ගොවීන්ට සිල්ලර අලෙවිය සඳහා සහනාධාර ලබා දෙන බැවින්, ඔවුන් විදේශීය සැපයුම්කරුවන් සමඟ සාමූහිකව සාකච්ඡා පවත්වයි.

ඉන්දියාව පොහොර ආනයනය සඳහා විවිධාංගීකරණය වූ ප්‍රවේශයක් අනුගමනය කරන බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසීය.

පවතින තත්ත්වය කලින් හඳුනාගෙන පොහොර දෙපාර්තමේන්තුව විසින් ටෙන්ඩර් කැඳවා ඇති අතර, ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇති බවද ජයිස්වාල් පැවසීය.

නවතම රජයේ දත්ත වලට අනුව, ඉන්දියාව සතුව වැඩි පොහොර තොගයක් පවතින අතර, යූරියා සහ ඩී.ඒ.පී. (DAP) සංචිත පෙර වසරට වඩා පිළිවෙළින් 10.7% කින් සහ 105% කින් ඉහළ ගොස් ඇත.