May 21, 2026

ඉන්දියාවට මිලදී ගත හැකි උපරිම බලශක්ති ප්‍රමාණයක් අලෙවි කිරීමට වොෂින්ටනය සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ප්‍රකාශ කර ඇත.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු පැවසුවේ, ඉන්දියාව මිලදී ගන්නා ඕනෑම බලශක්ති ප්‍රමාණයක් ඔවුන්ට අලෙවි කිරීමට අමෙරිකාව සූදානමින් සිටින බවයි.

ඇමරිකා එක්සත් ජනපදය මේ වන විටත් තෙල් සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත්, නව දිල්ලිය ඔවුන්ගේ බලශක්ති සැපයුම් කළඹේ විශාල කොටස්කරුවෙකු කර ගැනීමට අවශ්‍ය බවත් ඔහු පැවසීය.

රූබියෝගේ මෙම අදහස් දැක්වීම සිදුවන්නේ ඇමරිකානු තෙල් පිරිපහදු වෙත වෙනිසියුලානු බර බොරතෙල් විශාල වශයෙන් ගලා ඒමේ වර්ධනයක් දක්නට ලැබෙන වටපිටාවකය.

“ඉන්දියාව සමඟ එක්ව වැඩ කිරීමට බොහෝ දේ තිබෙනවා. ඔවුන් විශිෂ්ට මිත්‍රයෙක් මෙන්ම විශිෂ්ට හවුල්කරුවෙක්,” යනුවෙන් ද රූබියෝ පැවසීය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ඔහු සිව්දින නිල සංචාරයක් සඳහා හෙට ඉන්දියාවට පැමිණීමට නියමිත පසුබිමක් තුළයි.

ඔහුගේ මෙම නව දිල්ලි සංචාරය ඉතා වැදගත් එකක් වන බව පැවසූ රූබියෝ Quad කණ්ඩායමට අයත් රටවල විදේශ අමාත්‍යවරුන් හමු වීමටද මෙයින් තමන්ට අවස්ථාව ලැබෙන බව ප්‍රකාශ කළේය.