August 10, 2026

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත්ව ඇති ආයෝජකයන් අතර චීන සහ ඉන්දීය සමාගම්ද වන බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි මත්තල ගුවන්තොටුපළ මෙහෙයවීම සඳහා සුදුසු දේශීය සහ විදේශීය ආයෝජකයන්ගෙන් අදහස් විමසීමේ යෝජනා (Expressions of Interest – EoI) කැඳවීමට රජය පියවර ගත් අතර, ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණ ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුවක්ද ක්‍රියාත්මක වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී චීනයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 කට ආසන්න ණය මුදලකින් ඉදිවූ මෙම ගුවන්තොටුපළ 2013 වසරේදී විවෘත කරන ලදී.

මෙම ආයෝජන යෝජනා භාරගැනීමේ අවසන් දිනය ලෙස මුලින් ජූනි 8 වනදා තීරණය කර තිබුණද, පසුව එම කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට පියවර ගැනිණි.

එම ක්‍රියාවලියෙන් අනතුරුව වගකිවයුතු බලධාරීන් වෙත යෝජනා 19ක් ලැබී ඇති අතර, ඒවා මේ වන විට ඇගයීමට ලක් කරමින් පවතී.

ඉදිරිපත්ව ඇති යෝජනා අතර චීන සහ ඉන්දීය සමාගම් තිබේදැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් වරාය, ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ඒ බව තහවුරු කර ඇත. මීට අමතරව ඕමානයෙන්ද ආයෝජන යෝජනා ලැබී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.