July 22, 2026

ලෝකයේ දියුණුතම අර්ධ සන්නායක චිප්ස් නිෂ්පාදනයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් පාලනය කරන්නේ ඇමෙරිකා-චීන භූ-දේශපාලනික උණුසුම මධ්‍යයේ පිහිටි කුඩා තායිවාන දිවයින විසිනි.

අප භාවිතා කරන ස්මාර්ට්ෆෝනයේ සිට විදුලි මෝටර් රථ, ගුවන් යානා සහ නවීන හමුදා ආයුධ දක්වා සෑම මෙවලමකම හදවත බඳු මෙම චිප් සැපයුමට යම් බාධාවක් වුවහොත්, මුළු මහත් ගෝලීය ආර්ථිකයම ඇණහිටීමේ අවදානමක් පවතී.

කොවිඩ්-19 වසංගත සමයේ ඇති වූ චිප් හිඟය හමුවේ ලොව පුරා මෝටර් රථ කර්මාන්තශාලා පවා වසා දැමීමට සිදු වූ අතර, නැගෙනහිර ආසියානු නිෂ්පාදකයින් කිහිප දෙනෙකු මත මුළු ලෝකයම යැපීමේ බරපතලකම එදිනෙදා අත්දැකීමෙන්ම පසක් විය.

මෙම අවදානමෙන් මිදීම සඳහා ඇමෙරිකාව, ජපානය, දකුණු කොරියාව සහ යුරෝපා සංගමය (EU) සිය රටවල් තුළ චිප් නිෂ්පාදනය දිරිගැන්වීමට ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරමින් සිටී. එම ගෝලීය තරගයට අලුතින්ම එකතු වී සිටින්නේ ඉන්දියාවයි.

ඊළඟ ගෝලීය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන බලවතා වීමේ අරමුණින් ඉන්දීය රජය පසුගිය සතියේ ‘සෙමිකොන් 2.0’ (Semicon 2.0) නමැති දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 13.2ක (යුරෝ බිලියන 11.4) අනුමැතිය ලබා දුන්නේය.

2021දී ඇරඹි ඩොලර් බිලියන 9ක ‘ඉන්දියා සෙමිකන්ඩක්ටර් මෙහෙයුමේ’ (ISM) දෙවන අදියර වන මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ චිප් සැලසුම් කිරීමේ සිට නිෂ්පාදනය, ඇසුරුම්කරණය, උපකරණ නිපදවීම සහ පුහුණු ශ්‍රම බලකායක් තැනීම දක්වා වූ සමස්ත චිප් පරිසර පද්ධතියම ඉන්දියාව තුළ ස්ථාපිත කිරීමයි.