May 28, 2024

මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ ඩෙංගු, ලෙප්ටොස්පයිරෝසිස්, පාචන රෝග සහ ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු සෘතුමය රෝගවල වැඩිවීමක් ගැන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු අවධාරණය කරන්නේ, මෙම කාලය තුළ ඩෙංගු උණ සැළකිව යුතු තර්ජනයක් ලෙස පවතින බවයි.

වර්ෂාපතනය වැඩිවීමත් සමඟම මදුරුවන් බෝවන ස්ථාන ඉහළ යෑමක් පෙන්නුම්කරන බැවින් ජනතාව තම නිවෙස් අවට රැඳෙන ජලය ඉවත් කර මදුරු විකර්ෂක භාවිත කිරීම ඉතා වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය සති කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ පෙර නොවූ විරූ වැඩිවීමක් ද නීරීක්ෂණය වී ඇතැයි ඔහු සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ‘මී උණ’ ලෙසින් හඳුන්වනු ලබන ලෙප්ටොස්පයිරෝසිස් සම්බන්ධයෙන් ද වැඩි උනන්දුවක් දැක්විය යුතු බව ඔහු පෙන්වාදෙයි.

ගංවතුර ඇති ප්‍රදේශ ආසාදිත සතුන්ගේ මුත්‍රාවලින් අපවිත්‍ර වීමෙන් ලෙප්ටොස්පයිරෝසිස් ව්‍යාප්තිය වැඩි විය හැකි බව සෞඛ්‍ය අංශ පැහැදිලි කරයි.

එබැවින්, ජලය රැඳී ඇති ස්ථාන ආශ්‍රිතව වැඩ කරන පුද්ගලයන් ආරක්ෂිත ඇඳුම් ඇඳිය යුතු අතර උණ, හිසරදය සහ මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව ද විශේෂඥයෝ පෙන්වාදෙති.

මේ අතර, රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවවාද කරන්නේ ජලයෙන් බෝවන රෝග පිළිබඳ සැළකිලිමත් වන ලෙසයි.

මෝසම් කාලයේදී දූෂිත ජල මූලාශ්‍ර නිසා පාචන රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වන බවත් පිරිසිදු පානීය ජලය භාවිත කිරීම සහ හොඳ සනීපාරක්ෂක පිළිවෙත් පවත්වා ගැනීම ඉතා වැදගත් වන බවත් ඔහු අවධාරණය කරයි.

ඊට අමතරව, වැඩි ආර්ද්‍රතාව සහ තෙත් තත්ත්වයන් සමඟ ශ්වසන ආසාදන වැඩි විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එබැවින් උණුසුම්ව සහ වියළිව සිටීම වැදගත් වන අතර, ශ්වසන රෝග ලක්ෂණ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන බව ද වෛද්‍ය දීපාල් පෙරේරා පෙන්වා දෙයි.