March 7, 2026

පොලිස් වාර්තාවක් රැගෙන නොඑන කිසිම කෙනෙකුට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ බැලීමට අවස්ථාව නොදෙන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.

මේ නිසා අවුරුදු විසි එකක ඔහුගේ දරුවාටත් සිය පියා බැලීමට පොලිස් වාර්තාවක් රැගෙන ඒමට සිදුව ඇති බවත්, “මේක මහ පුදුම නීතියක්” බවත් මන්ත්‍රීවරයා කීවේය.

ඔහු මෙසේ පැවසුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදයේදීය.

එහිදී දයාසිරි ජයසේකර මෙසේද පැවසීය.

“සැකකරුවකු නොවන පුද්ගලයකු අරගෙන ඇවිත් ඔහු හිරභාරයට පත්කරලා. මෙය ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත දැඩි ලෙස උල්ලංඝනය කිරීමක්. අද නීතිඥයා කතා කරන්න ඕනෙත් ඒගොල්ලන් ඉදිරියේමයි. පැය 48ක් ඇතුළත නියෝගයක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු නමුත් එය ඉදිරිපත් කර නැහැ. මෙම හදිසි තත්ත්වය ගැසට්ටුව සමග නියෝග නැහැ. මේව කතාකරනකොට එතුමාගේ චෝදනා කතා කරනවා කියලා කතානායකතුමා කතා කරන්න ඉඩදෙන්නේ නැහැ. කථානායක ඔය පුටුවේ ඉන්නේ තව ටික කාලයයි. එතකොට අපිට කතා කරන්න පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා.”

නීතිය සැමට සමාන බව ජනාධිපති කියද්දී කුමාර ජයකොඩිට නීතිය ක්‍රියාත්මක නොවන බව පැවසූ දයාසිරි ජයසේකර, අද ක්‍රියාත්මක වන්නේ, “රනිල්ට එක නීතියක් කුමාර ජයකොඩිට එක නීතියක්” බවද ප්‍රකාශ කළේය.(ලංකාදීප)