July 8, 2024

මැතිවරණ පවත්වන දින වෙනස් කිරීමට උත්සාහ කළහොත් රටේ කැළඹිලි ඇතිවිය හැකි යැයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියෝ පවසති.

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් අද (08) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ මහනාහිමියෝ මේ බව පැවසූහ.

මැතිවරණ කල් දැමීම අනවශ්‍යය දෙයක් යැයි ද එහි දී උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එහි දී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පෙන්වා දුන්නේ, ජනපති නිල කාලය වසර පහක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා තිබෙන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු දෙකක් මගින් මෙයට පෙර එය තහවුරු කර තිබෙන බවත්ය.

මේ අවස්ථාවේ ආණ්ඩුව කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවට ඔවුන් ගේ කාර්යභාරය කරගෙන යෑමට අවකාශ සැපයීම බව ද හෙතෙම කීය.

මෙහි දී අදහස් දැක් වූ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ, දේශපාලනඥයන් නොයෙක් අවස්ථාවල විවිධ අර්බුද නිර්මාණය කරමින් සිටින බවත් මෙම පසුබිම තුළ ජනතාවට දැඩි පීඩනයකට පත්ව මුංමුලා වූ ස්වභාවයෙන් ජීවත්වන බවත් පැවසූහ.

ජන ජීවිතය නගා සිටුවීම සඳහා කළ යුත්තේ කුමක් ද යන්න සම්බන්ධයෙන් දේශපාලනඥයින් අවධානය යොමු කළ යුතු බවත් තමන් ගේ බලය රඳවා ගැනීම හෝ බලයට පත්වීම පිළිබඳව සාකච්ඡා කරමින් එකිනෙකාට අවලාද නගන ස්වභාවයක් දක්නට ලැබෙන බවත් උන්වහන්සේ කීහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන හා ජනතාව ප්‍රාර්ථනය කරන ආකාරයෙන් නියමිත පරිදි මැතිවරණ පැවැත්වීම සුදුසු දේ යැයි ද ධම්මානන්ද නාහිමියෝ ප්‍රකාශ කළහ.