October 9, 2026

2026 වසරේ නොබෙල් සාම ත්‍යාගය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ලේ වෙත හිමිව තිබේ.

නෝවේජියානු නොබෙල් කමිටුව සඳහන් කළේ, ජාත්‍යන්තර නීතිය සහ සාමය ප්‍රවර්ධනය කිරීම උදෙසා ඇය ඉටුකළ විශිෂ්ට සේවය ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය පිරිනමන බවයි.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ උපත ලැබූ පිල්ලේ, 1990 දශකයේ අගභාගයේ සිට 2000 දශකයේ මුල් භාගය දක්වා කාලය තුළ රුවන්ඩා ජන සංහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ විනිශ්චය සභාවේ සභාපතිනිය ලෙසද කටයුතු කළාය.

එමෙන්ම, 2021 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් පිහිටුවන ලද ‘ආක්‍රමණය කරන ලද පලස්තීන භූමිය පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණ කොමිෂන් සභාවේ’ සාමාජිකාවක ලෙසද ඇය මෑතකදී කටයුතු කළාය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කරන සමයේදී ඇය ශ්‍රී ලංකාවේ ද සංචාරයක නිරත වූවාය.

2009 වසරේදී හිටපු මහලේකම් බැන් කි මූන් උතුරේ සංචාරය කිරීමෙන් පසුව එම ප්‍රදේශයේ සංචාරය කළ ඉහළම පෙළේ එක්සත් ජාතීන්ගේ නිලධාරිනිය වන්නේ පිල්ලේ යි.

පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිකරගත් වෙනෙසුවේලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ පසුගිය ජනවාරි මාසයේදී සිය නොබෙල් පදක්කම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිළිගැන්වූවාය.