August 4, 2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු නිදහස් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර ලබා දී තිබූ නියෝගය බල රහිත කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළේය.

එමෙන්ම, අදාළ නඩුව කිසිදු ප්‍රමාදයකින් තොරව නැවත විභාග කිරීම ආරම්භ කරන ලෙස ද අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියෝග කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, පී. කුමාරරත්නම්, දමිත් තොටවත්ත, සරත් දිසානායක, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අන්නලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරුවන්ගෙන් සමන්විත පස්පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදෙන ලදී.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම අනුමැතිය නොමැතිව අධිචෝදනා පත්‍රය ගොනුකර ඇති බැවින් එය නීතියට පටහැනි බවට විත්ති පාර්ශ්වය මූලික විරෝධතා මතු කර තිබූ බවයි.

එම මූලික විරෝධතාව පිළිගනිමින් 2023 මැයි මස 19 වැනි දා කොළඹ මහාධිකරණය විසින් චෝදනා පත්‍රය ඉවත් කර විත්තිකරුවන් නිදහස් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල නොවන බව අභියාචනාධිකරණය පෙන්වාදුන්නේය. ඒ අනුව අදාළ මහාධිකරණ නියෝගය ඉවත් කළ විනිසුරු මඩුල්ල, ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපතක් කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද නියෝග කළේය.

2010 වසරේ වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, ලංකා සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකර ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට මෙම නඩුව ගොනුකර තිබිණි.

අල්ලස් කොමිසම මගින් මෙලෙස අධිචෝදනා ගොනුකර තිබුණේ, හිටපු වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හිටපු වැඩබලන අධ්‍යක්ෂ මොහිදීන් මොහොමඩ් සකීර් යන අයට එරෙහිවය.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අනුශා සම්බන්ධප්පෙරුම ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනීසිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි ශබ්රි ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනීසිටියහ.