October 8, 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනට දරන එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධාන නායක සජිත් ප්‍රේමදාසට ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ හර්ෂණ රාජකරුණා ඉල්ලා සිටී.

සමගි ජන බලවේගය යනු එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගිය කණ්ඩායමකි.

පසුගියදා පැවති ජනාධිපතිවරණයේ දී ප්‍රේමදාස දෙවැනි තැනටත් වික්‍රමසිංහ තුන්වැනි තැනටත් පත් විය.

ඉදිරි ඡන්ද විමසීමේ දී ඒකාබද්ධව කටයුතු කළහොත් ඔවුන්ට ජයග්‍රහණය ලබාගත හැකි වනු ඇතැයි යන අදහස ඇතිව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට විවිධ උත්සාහයන් සිදුවෙමින් පවතී.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු විය යුතු බවට කෙරෙන කැඳවීම පැමිණෙන්නේ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පරාජය වීමෙන් පසුව වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකින් අනතුරුවය.

කෙසේවෙතත්, ඒ සම්බන්ධ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැත.

“එජාපයට අප සමඟ සන්ධානගත වීමට අවශ්‍ය නම්, ඔවුන්ට නායකත්වය ප්‍රේමදාසට භාර දිය හැකියි, එවිට අපට පක්ෂය පිරිසිදු කර නැවත එක්විය හැකියි,” යනුවෙන් රාජකරුණා මාධ්‍ය හමුවකදී පැවසීය.

“මේකට විරුද්ධව තීරණයක් ගත්තොත් අලුත් නායකයෙක් පත්කරගෙන අපිත් එක්ක සන්ධානගත වෙන්න පුළුවන්. එජාපයේ ප්‍රධානියා ලෙස තම බලය අත්හැරීමට වික්‍රමසිංහට තවමත් අවශ්‍ය නැති නිසා තමයි එහෙම වෙන්නේ නැත්තේ.” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය විසින් දේශපාලන ජීවිතයට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල නොවූ පුද්ගලයන් ඉදිරිපත් කරන බවත් විශ්වාසය කඩ කළ පුද්ගලයන් පිළිනොගන්නා බවත් රාජකරුණා සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නන්නයක්කාර යන හිටපු අඇමැතිවරුන් නෙරපා හැරීම නීත්‍යනුකූල බව මෙම වසරේ (2024) අගෝස්තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ අතර එමඟින් ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි විය.

සමගි ජන බලවේගය සමග සිටි හිටපු ඇමැති තලතා අතුකෝරළ ද වික්‍රමසිංහට සහාය පළ කළාය.

කෙසේවෙතත්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බුද්ධිමත්ව ඡන්දය ප්‍රකාශ කරන ලෙස සමගි ජන බලවේගය ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටී.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාවගේ නියැදියක් පමණයි” යනුවෙන් රාජකරුණා පැවසීය.

“පාර්ලිමේන්තුව වෙනස් කිරීමට අවශ්‍ය නම් ජනතාවම එම වෙනස කළ යුතුයි. පාර්ලිමේන්තුව නරකයි කියලා අපිට පැමිණිලි කරන්න බැහැ, ඒ කියන්නේ ජනතාවම නරකයි කියන එකයි.” යැයි ඔහු පැවසීය.

මේ අතර, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා පත්‍රය සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් මතුකර ඇති විරෝධයක් හෝ ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් පත් කරන ලද මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත්කර සිටින අතර ජනාධිපති නීතිඥවරුන් වන ඩිනාල් පිලිප්ස්, නලින් දිසානායක සහ S.T. ජයනාග එහි සෙසු සාමාජිකයෝ වෙති.