November 16, 2026

හික්කඩුව, නාරිගම වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය 71 හැවිරිදි ජර්මානු ජාතිකයකු මිය ගොස් තිබේ.

වෙරළ තීරයේ දිය නාමින් සිටියදී ඔහු මෙලෙස දියවැලකට හසුව මුහුද දෙසට ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

ප්‍රදේශවාසීන් විසින් ඔහු බේරාගෙන කඩිනමින් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇතත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇත.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.