July 2, 2026

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍යය සහ යුක්තිය ඉටුකර දීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සිය පූර්ණ සහයෝගය පළකර සිටියි.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රදගුරු මණ්ඩලය සඳහන් කරන්නේ, මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ කාදිනල් හිමිපාණන්ට සහ සෙසු පූජක පක්ෂයට එරෙහිව අසත්‍ය හා අපහාසාත්මක කරුණු පතුරුවා හැරීමට ගත් උත්සාහයන් දැඩි ලෙස හෙළාදකින බවයි.

සිය ගණනකගේ ජීවිත අහිමි කළ මෙම බිහිසුණු ප්‍රහාරයට අදාළ කරුණු විකෘති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බවද එහි දක්වා ඇත.

කාදිනල් රංජිත් හිමිපාණන් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය උපයෝගී කර ගන්නා බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන රදගුරු මණ්ඩලය, එම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු සහ පිළිගත නොහැකි ඒවා බව අවධාරණය කරයි.

කතෝලික සභාවේ ශුද්ධ වූ සභා නීතිය (Canon Law – වගන්ති 401) අනුව, රදගුරුතුමෙකු වයස අවුරුදු 75 සම්පූර්ණ වූ විට ශුද්ධෝත්තම පාප් වහන්සේ වෙත ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ යුතු වුවද, එම ඉල්ලා අස්වීම පිළිගැනීම හෝ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳ අවසන් තීරණය ගැනීමේ පරම බලය පවතින්නේ පාප්වහන්සේට පමණි.

කාදිනල් හිමිපාණන් ද වයස 75 සම්පූර්ණ වූ වහාම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇති අතර, ශුද්ධාසනය විසින් තීරණයක් ලබාදෙන තෙක් උන්වහන්සේ සිය වගකීම් ඉටුකරමින් සිටිති.

ලෝක මෙන්ම දේශීය කතෝලික සභාව වෙනුවෙන් කාදිනල් හිමිපාණන් ඉටුකළ සේවය ඇගයීමට ලක්කරන රදගුරු මණ්ඩලය, උන්වහන්සේ සැමවිටම අවංකත්වයෙන් යුතුව වින්දිතයන් වෙනුවෙන් පෙනීසිටි බව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමන් සහ එහි මහලේකම් ඇන්ටන් රංජිත් රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව මෙම නිල නිවේදනය නිකුත්කර ඇත.