March 19, 2026

අප්‍රේල් මාසයට අදාළ සියලුම ඉන්ධන ඇණවුම් ඊයේ (18) තහවුරු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉන්ධන නැව්ගත කිරීම් පහක් සඳහා ඇණවුම් ඊයේ අවසන් කළ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පැවසීය.

ඉන්ධන බෙදාහැරීමේ QR පද්ධතියට ලොග් වී එය යාවත්කාලීන කිරීමෙන්, පරිශීලකයන්ට තමන්ට වෙන් කරන ලද ඉන්ධන කෝටාව දැනටමත් වෙනත් අයෙකු විසින් ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කළ හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

පෙර කෝටා වෙන්කිරීම්වල විෂමතා ඇති අය මුහුණ දුන් ගැටළු ද දැන් විසඳා ඇති බව ඔහු පැවසීය.

‘‘මීට පෙර, මාර්තු අවසානය දක්වා සුරක්ෂිත කර ඇති තොග මත පදනම්ව, අප්‍රේල් අවසානය දක්වා තහවුරු කළ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පමණක් තිබුණා. කොහොමවුණත්, අපි දැන් අප්‍රේල් මාසය ආවරණය වන පරිදි නැව්ගත කිරීම් තහවුරු කර තිබෙනවා. ඒ අනුව, ලබන මාසය අවසානය දක්වා ඉන්ධන තොග ස්ථාවරව පවතියි,’’ ඔහු පැවසීය.

දැනට ඉන්ධන හිඟයක් නොමැති බවත් QR පද්ධතියට අදාළ තාක්ෂණික ගැටළු දැන් විසඳා ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

එක් දුරකථන අංකයක් සහ ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බව ඔහු මහජනතාවට සිහිපත් කරයි.