January 28, 2026

ප්‍රංශ ජාතික සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ පනතක් සම්මත කර තිබේ.

එය දුරකතනවලින් දරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රමයක් ලෙස යෝජනා කරමින් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ඉදිරිපත් කර තිබිණි.

ජනවාරි 26 සිට 27 දක්වා පැවති සැසිවාරයේදී පහළ ජාතික සභාව වෙත ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 130 ක් සහ විපක්ෂව ඡන්ද 21 ක් හිමිව තිබූ අතර ඒ අනුව වැඩි ඡන්දයෙන් යෝජනාව සම්මත කර තිබේ.

එය නීතියක් බවට පත්කිරීම සඳහා ප්‍රංශයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව වෙත යොමුකිරීමට නියමිතය.

ප්‍රංශයේ දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් ආරක්ෂා කිරීමේ ප්‍රධාන පියවරක් ලෙස ජනාධිපති මැක්‍රොන් මෙය හඳුන්වා දී ඇත.

එරට උසස් පාසල්වල ජංගම දුරකථන භාවිතය තහනම් කිරීම සඳහා ද විධිවිධාන සලසන නීති සම්පාදනය වෙමින් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියාව ද ඉකුත් දෙසැම්බර් මාසයේදී වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරන ලදී.

සමාජ මාධ්‍ය භාවිතය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇති බැවින් ප්‍රමාණය ඉක්මවා දුරකතන සඳහා දරුවන් ඇබ්බැහි වී සිටීම ළමා සංවර්ධනයට බාධාකරන අතර මානසික සෞඛ්‍ය ගැටලුවලට දායක වන බවට ඔස්ට්‍රේලියානු රජය චෝදනා කර තිබිණි.