June 15, 2026

යාල ජාතික උද්‍යානය තුළදී සෆාරි ජීප් රථයක ගැටී අනතුරක් සිදුකිරීමෙන් පසු, උද්‍යානය තුළ නීතිවිරෝධී ලෙස හැසිරීමේ චෝදනාව මත පෞද්ගලික සංචාරක වාහනයක රියදුරු ඇතුළු පුද්ගලයන් සිව්දෙනකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, ජාතික උද්‍යානය තුළ පිහිටි පහළ හීන්තොට සංචාරක බංගලාවේ නතර වී සිටි මෙම පිරිසක් ඊයේ (14) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් ගමන් ගත් වාහනය යාල හන්දිය අසලදී සෆාරි ජීප් රථයක ගැටී ඇති අතර, ඉන් අනතුරුව රියදුරු සහ එහි ගමන් ගත් මගීන් වාහනයෙන් බැස උද්‍යානය තුළදී ගැටුමකට උත්සාහ කර තිබේ.

ආරක්ෂිත කලාපයක් වන උද්‍යාන භූමියක් තුළ මෙලෙස වාහනවලින් බැස කටයුතු කිරීම සපුරා තහනම් ක්‍රියාවකි.

සැකකරුවන් අද (15) දින තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.