August 5, 2026

දේශපාලන කටයුතු සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙත පැමිණි පොහොට්ටුවේ හිටපු ඇමැති සුසන්ත පුංචිනිලමේ 2008 වසරේ සිට පරිහරණය කළ නිලනිවස වෙනුවෙන් කිසිදු කුලී මුදලක්, ජල බිල්පතක්, විදුලි බිල්පතක් ගෙවා නැතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.

එම මුදල් අයකර ගැනීම වෙනුවෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් උත්සාහ කර ඇතත් කිසිදු මුදලක් ගෙවා නොමැති බවත් ඔහු පැවසීය.

එබැවින් මේ සම්බන්ධයෙන් වන ලිපි ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත භාරදෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවැති විවාදයට එක්වෙමිනි.

එහිදි අමාත්‍යවරයා සඳහන් කළේ, එසේම පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත පතිරණ ප්‍රේමකුමාර මන්ත්‍රීවරයාට පේදුරු කොටුව තුළ නිල නිවාසයක් ලබා දී තිබූ බවත්, ඒ වෙනුවෙන් කුලී ගෙවීමක් කර නොමැති බවත්ය. මීට පෙර පැවති සියලු ආණ්ඩු හොරකමට, වංචාවට දූෂණයට ඉඩදී බලා සිටි බවත්, නිලධාරීන් සේවය කිරීමට උත්සාහ කළද දේශපාලන අධිකාරිය විසින් දූෂණ වංචාවල නිරත වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් මෙසේද පැවසීය.

“අද මූල්‍ය විනය ගැන අපි කතා කරනවා. රාජ්‍ය යන්ත්‍රණය තුළ සිදු වූ අක්‍රමිකතා අපි වෙනස් කරමින් සිටිනවා. ඒත් මෙතෙක් කාලයක් බලයේ සිටි සියලු ආණ්ඩු අක්‍රමිකතාවලට ඉඩ ලබාදී බලාගෙන සිට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මම එක උදාහරණයක් කියන්නම්. අපේ දිස්ත්‍රික්කයේ එක් අමාත්‍යවරයෙක් හිටියා. රත්නපුර දිස්ත්‍රික්කයෙන් තමයි ආවේ. කාලයක් එක්සත් ජාතික පක්ෂයේ හිටියේ. පසුව පොදුජන පෙරමුණට ගියා. සජබයෙත් හිටියද මන්දා. සුසන්ත පුංචි නිලමේ ත්‍රිකුණාමලයට ආවේ 2008 වසරෙදි. ඒ එනකොට දිසාපතිතුමාගෙන් නිල නිවාසයක් ඉල්ලා තිබුණා. නිල නිවාස සංකීර්ණයක් භාරගත්තට පසුව කුලියක්, වතුර බිලක්, විදුලි බිලක් තවම ගෙවලා නෑ. මෙතුමා 2019 ඡන්දෙදි පරාජයට පත් වෙනවා. පරාජය වුණාට පසුව යතුර භාරදීලා යන්නෙත් තමන්ගේ ගෝලයකුට. හිටපු සියලුම දිසාපතිවරුන් මේ සම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. මේ සුසන්ත පුංචි නිලමේ රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරා තිබෙනවා. මේ සම්බන්ධයෙන් මම රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සමඟත් කතා කළා. නිවාස අමාත්‍යතුමා, බලශක්ති අමාත්‍යවරයා සමඟත් කතා කළා. ඒ ඒ අමාත්‍යාංශ මට්ටමින් වෙන වෙනම විමර්ශන කරනවා. ඒ වගේම කෝපා කමිටුවටත් මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මෙම ලිපි ගොනුව ඉදිරිපත් කරනවා. මේ රාජ්‍ය මුදල්. ලක්ෂ 11ක වගේ විදුලි බිලක් ගෙවන්න තිබෙනවා. මේවා ජනතාවගේ බදු මුදල්.

ඒ වගේම තවත් කෙනෙක් හිටියා ප්‍රියන්ත කුමාර පතිරණ කියලා කෙනෙක්. පළාත් සභා මන්ත්‍රීවරයක්. ඔහුටත් නිල නිවාසයක් ලබාදී තිබෙනවා. ඔහුත් කිසිම කුලියක් ගෙවලා නෑ. ලිපි ලේඛන රාශියක් හුවමාරු වී තිබෙනවා. නීතිපතිවරයා විසින් හිඟ මුදල ගෙවන්න කියලා දැනුම් දීමකුත් කර තිබෙනවා. ඒත් කිසිම මුදලක් ගෙවලා නෑ. නිලධාරීන් මොන තීන්දු තීරණ ගත්තත් පැවැති දේශපාලන අධිකාරීන් ඒවා ක්‍රියාත්මක කරන්නට ඉඩ ලබාදී නෑ.”

(උපුටාගැනීම – දිනමිණ)