June 19, 2023

මිනිස් සිරුරට ඉතා අහිතකර කෘත්‍රිම සහ ස්වාභාවික රසයට සමාන රසකාරක අඩංගු ආහාර ද්‍රව්‍ය මෙරට වෙළෙඳපොළ තුළ දිනෙන් දින සුලභ වෙමින් පවතින බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

පාරිභෝගිකයන්ට වඩාත් රසවත් හා විවිධ රස සංවේදනයන් ලබාදීමේ අරමුණින් ආහාර සඳහා එකතු කරන මෙම කෘත්‍රිම රසකාරක නිසා සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් ඇති කරන බව සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහ පෝෂණවේදීන් සඳහන් කර ඇත.

මෙම කෘත්‍රිම සහ ස්වභාවික රසයට සමාන රසයන් සෞඛ්‍යයට අහිතකර රසායනික ද්‍රව්‍යවලින් පිරී ඇති අතර, ඒ හේතුවෙන් බරපතල ප්‍රතිවිපාක ඇති කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කරයි.

තක්කාලි සෝස් සහ සීනි ආශ්‍රිත ආහාර තෝරා ගැනීමේදී මෙම කෘත්‍රිම රසකාරක බහුල බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද ඔහු පවසයි.

ආහාර ද්‍රව්‍යවල කෘත්‍රිම රසකාරක භාවිත කිරීම මිනිස් සිරුරට බලපෑම් ඇති කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හඳුනාගෙන ඇත.

එමෙන්ම, මෙම රසකාරක භාවිතයෙන් පිළිකා වැනි රෝගී තත්ත්ව මෙන්ම ඇතැම් අවස්ථාවන්වලදී මරණයට පවා පත්විය හැකි බවත්, හිසරදය, ඔක්කාරය, තෙහෙට්ටුව වැනි අහිතකර බලපෑම් ඇති කළ හැකි බවත්, ඔහු සඳහන් කරයි.

මෙම රසකාරක අඩංගු ආහාර දීර්ඝ කාලීනව පරිභෝජනය කිරීමෙන් කෝපය, විශාදය, ආහාර දිරවීමේ ගැටළු සහ ශක්ති මට්ටමේ දුර්වලතා මෙන්ම මානසික හා ශාරීරික ගැටලු ඇති විය හැකි බව ද ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම රසකාරක සහිත සෝස් වර්ග සහ ව්‍යාජ දුඹුරු සීනි අලෙවි කරන වෙළඳසැල් සහ අවන්හල්වලට එරෙහිව නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර පවසයි.

ඇතැම් සෝස් නිෂ්පාදනවල ස්වභාවික තක්කාලි අඩංගු නොවන බවත්, රසකාරක රාශියක් සමඟ එය රස කර ඇති බවත්, ඔහු සඳහන් කරයි.

(Dailymirror)