August 3, 2026

සම්මන්තුරේ පොලිස් වසමේ අල්මර්ජානි විද්‍යාලය ආසන්නයේ අතුරු මාර්ගවල ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව අනතුරුදායක ලෙස යතුරුපැදි පැදවූ තරුණයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ජූලි 31 වැනිදා සවස උපකාරක පන්ති සඳහා පැමිණි දරුවන්ට හිරිහැර වන අයුරින් මෙම පිරිස යතුරුපැදි පදවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

එම වීඩියෝ දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී අදාළ යතුරුපැදි සහ සැකකරුවන් හඳුනා ගැනීමට හැකිවී ඇත.

පසුගිය දින තුන තුළ සිදුකළ මෙහෙයුම්වලදී මෙම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් යතුරුපැදි 08ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19ත් 21ත් අතර පසුවන තරුණයන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා සහ අදාළ යතුරුපැදි අද (03) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් සියලුම යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.