February 19, 2026

මත්තල අධිවේගී පිවිසුම අසලදී ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන එම වීඩියෝ මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍යයට මුදාහළ කටානේ කඳසුරිඳුගම පදිංචිකරුවන් පස්දෙනකු කටාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තවද එම අවස්ථාවේ මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරුකර යවා තිබේ.

ඒ, විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැන අශෝභන ලෙස හැසිරීමට එරෙහිව නීතිමය පියවර නොගැනීම හේතු කොටගෙනය.

පෙරේදා (17 දා) කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබුණු පෞද්ගලික බස් රථයක් ආසන පටි නොමැති වීමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට පොලිසිය අවසර නොදීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.

එහිදී එම බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලිසිය අතර බහින්බස්වීමක් සිදුව තිබේ.

ඒ අවස්ථාවේ බස් රථයේ පැමිණි පිරිස ජනාධිපතිවරයාගේ නම කියමින් පරුෂ වචනයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

“මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වාහන පරීක්ෂා කිරීමේ වැඩසටහනක එක් අදියරක් හම්බන්තොට මත්තල දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී ඊයේ (18) උදෑසන සිට ක්‍රියාත්මක වුණා. දකුණු පළාත් අධිවේගී මාර්ග භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතයි මෙය සිදුවුණේ. මෙහිදී ලොරි රථ, ටිපර් රථ ඇතුළු වාහන රැසක් පරීක්ෂාවට ලක් කර වාහන 18කට අධිවේගයේ ධාවනය ද තහනම් කෙරුණා” යැයි ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක කේ.එම්.පී. වික්‍රමසිංහ ජනමාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

අඩුපාඩු සහිත වාහන අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම හේතුවෙන් අනතුරු බහුලව සිදුවන බව පෙන්වා දුන් ඔහු ආසන පටි පිළිබඳව ද අවධානය යොමුකරන මෙන් රියැදුරන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අධිවේගී මාර්ගයේ අනතුරු බහුලව සිදු වන්නේ ටයරවල හුළං පරීක්ෂාව නිසි පරිදි සිදුනොකිරීම නිසා බවද රථවාහනවල අඩුපාඩු නිසි පරිදි පරීක්ෂා කර අධිවේගයේ ධාවනය කරන මෙන් ද ඔහු ඉල්ලා සිටී.