July 3, 2026

පාරිභෝගිකයන්ගේ සෞඛ්‍යය සෙල්ලමකට ගනිමින්, මහියංගණ සති පොළ භූමියේ බුලත්විට හපමින් සහ මුඛ ආවරණ නොමැතිව බේකරි නිෂ්පාදන අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට නීතියෙන් දඬුවම් නියම වී තිබේ.

මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 25 වැනිදා අදාළ වෙළෙන්දාට රුපියල් 20,000ක දඩයක් නියම කර, එදින සවස 3.00 දක්වා අධිකරණ සිරමැදිරියේ රඳවා තැබීමට නියෝග කළේය.

සති පොළේ සිදුවන මෙම අපිරිසිදු සහ සෞඛ්‍ය විරෝධී වෙළෙඳාම පිළිබඳව කෝපයට පත් පාරිභෝගිකයෙකු විසින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වෙත පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන්, සති පොළ භූමිය වටලා අදාළ ව්‍යාපාරිකයා වැටලීමට ලක් කළේය. එහිදී පැමිණිල්ලේ සඳහන් පරිදිම ඔහු ඉතා නොසැලකිලිමත් ලෙස ආහාර අලෙවි කරන බව තහවුරු වීමත් සමඟ, නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක දිසා විනිසුරු නිමේෂිකා පටබැඳිගේ ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය, ව්‍යාපාරිකයාට එරෙහිව තිබූ චෝදනා දෙකටම වැරදිකරු කරමින් එක් චෝදනාවකට රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක් නියම කළාය. මුදල් දඩයට අමතරව, වැරදිකරු වූ වෙළෙන්දා එදින සවස 3.00 වන තෙක් උසාවි සිරමැදිරිය තුළ සිරකර තැබීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.