March 12, 2026

ඉරානයට එල්ල කරන ඕනෑම එක්සත් ජනපද ප්‍රහාරයකට පළිගැනීමට ටෙහෙරානය කැලිෆෝනියාවේ හදිසි ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ හැකි බවට FBI ආයතනය පසුගිය මාසයේ අදාළ බාලධාරීන්ට අනතුරු අඟවා ඇතැයි ආරක්ෂක නිවේදනයක් සම්බන්ධයෙන් හෙළිකරමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

පෙබරවාරි 28 වැනිදා ඉරානයට එල්ල කරන ලද දැවැන්ත එක්සත් ජනපද සහ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර සමඟ ආරම්භ වූ යුද්ධය 12 වැනිදා දක්වා ගමන් කරද්දී, ලොස් ඇන්ජලීස් ඒකාබද්ධ කලාපීය බුද්ධි මධ්‍යස්ථානය හරහා FBI ආයතනය විසින් නිකුත් කරන ලද රහස්‍ය අනතුරු ඇඟවීම බදාදා ප්‍රසිද්ධියට පත්විය.

ගුවන් ප්‍රහාරවලින් තම උත්තරීතර නායකයා සහ අනෙකුත් ඉහළ නිලධාරීන් මිය ගිය ඉරානය, ඊශ්‍රායලයට සහ එක්සත් ජනපද හමුදා ස්ථානගත කර ඇති ගල්ෆ් රාජ්‍ය කිහිපයකට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන ගුවන් යානා ප්‍රහාර සමඟ ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.

කුවේටයේ කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් යුද්ධයේ දෙවැනි දිනයේදී එක්සත් ජනපද සොල්දාදුවන් කිහිප දෙනෙක් මිය ගියහ.

FBI ආරක්ෂක නිවේදනය ABC ප්‍රවෘත්ති මගින් මුලින්ම ප්‍රකාශ කිරීමට පෙර ධවල මන්දිරයේදී වාර්තාකරුවන් වෙත අදහස් දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, එක්සත් ජනපදයට ඉරානයේ සහාය ලත් ප්‍රහාර එල්ල වීම පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කරන බවයි.

කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් පැවසුවේ ද රාජ්‍යයට එල්ල විය හැකි ‘ආසන්න තර්ජන’ පිළිබඳ තමා නොදන්නා බවයි.

රොයිටර්ස් පුවත් සේවයට ලැබුණු වර්ගීකරණය නොකළ ආරක්ෂක ප්‍රකාශයේ දින සඳහන් කර නොතිබුණු බව කියැවේ. ​

නමුත් පාඨයේ වචනවලින් පැහැදිලි වන්නේ එය යුද්ධය ආරම්භ වීමට පෙර නිකුත් කර ඇති බවත්, එක්සත් ජනපද නිජබිමට ඉරාන පළිගැනීමේ ප්‍රහාර සඳහා ඇති හැකියාව දැනටමත් සළකා බලා ඇති බවත්ය.

පෙබරවාරි මුල වන විට, එක්සත් ජනපදය ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කළහොත් කැලිෆෝනියාව වෙත නෞකාවක සිට ගුවන්ගත කෙරෙන ‘මිනිසුන් රහිත ගුවන් වාහන භාවිත කරමින් හදිසි ප්‍රහාරයක්’ ඉරානය විසින් එල්ල කිරීම අපේක්ෂා කළ හැකි බවට තොරතුරු උපුටා දක්වමින් FBI සඳහන් කර තිබේ.

“එවැනි ඕනෑම ප්‍රහාරයක වේලාව, ක්‍රමය, ඉලක්කය හෝ අපරාධකරුවන් පිළිබඳ අමතර තොරතුරු අප සතුව නොමැත” යනුවෙන් එම වාර්තාව තවදුරටත් පැවසීය.