July 3, 2026

සේරුවිල මාවිල්ආරු අමුණේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස අඩුවීමත් සමග අක්කර 25000 ක වගා බේරාගැනීම සදහා අල්ලේ ගොවි ජනපදයේ ගොවිහු කන්දකාඩු ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරස් කර වැලිගෝනි ගැසීමේ දැවැන්ත මෙහෙයුමක් පෙරේදා (01දා) ආරම්භ කළහ. ත්‍රිකුණාමලය උප්පාරු මෝයෙන් මුහුදට ගලායන මහවැලි ගඟ දෙකට බෙදෙන කන්දකාඩු ප්‍රදේශයෙන් උප්පාරු දෙසට ජල පහර හරස් කිරීමේ දැවැන්ත කාර්යය මෙවර වසර දෙකකට පසුව සිදුවෙයි.

මීට පෙර අවසන් වරට වැලි ගෝනි ගැසීමක් සිදු කළේ 2024 මැයි මාසේ බව ගොවිහු පවසති.

මේ සම්බන්ධයෙන් අල්ලේ ගොවි ජනපදයේ ගොවිජන සේවා කමිටු සභාපති පී.ඒ. රත්නසිරි මෙසේ පැවසීය.

“දැන් මට වයස අවුරුදු හැට තුනයි. මම අවුරුදු 15 ඉඳලා මෙතෙන්ට වැලි ගෝනි ගහන්ඩ එනවා. වගා බේරගන්න කියලා හැමදාම මේ වැඩේ කරන්න බැහැ. අපි මේ වැඩේ කලාට අපෙන් පස්සේ ඊළඟ පරම්පරාවේ දරුවෝ මේ වැඩේට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි මේකට ස්ථිර විසඳුමක් දෙන එක. හැම සැරේම ගඟ වෙනස් වෙලා. සමහර තැන්වලින් හැරිලා. ඒ තැන් පුරවන්න ගියාම හරි අමාරුයි.”

දින ගණනාවක් රැඳී සිටින ගොවීන් සහ වනාන්තරයේ මැද සිදුකරන මෙම කාර්යයේදී තවත් කොටසක් ආහාර පිසීමේ කටයුතු සිදුකරති. මෙම දුෂ්කර කාර්යය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිපදෙනෙක්ද එක්ව සිටිති.

මෙම දැවැන්ත කාර්යයට උදදී සිටින සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ජී.ජේ. සම්පත් තුෂාර මෙසේ කීය.

“මමත් ගොවියෙක් නිසා මේකේ අමාරුකම දන්නවා. වතුර නැති වුණාම හැමදාම ගොවියෝ ඇවිත් වැලි ගෝනි ගහනවා. මේකට ස්ථිර විසඳුමක් දෙන්න මම මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට යෝජනා ඉදිරිපත් කරනවා.”

අල්ලේ ගොවි ජනපදයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු එන්. රණතුංග, “මේ වන විට අක්කර 25000 කම තියෙන්නේ මාසයකුත් දින හයක් පමණ වන ගොයම්. මේ කාල සීමාව තුළ වගාවට ජලය අවශ්‍යයි. ඒ නිසා ගොවීන් අනිවාර්යයෙන්ම මේ දැවැන්ත කාර්යයට පැමිණිය යුතුයි.

වසර දෙකකට තුනකට සැරයක් ගොවි සංවිධාන එකතු වෙනවා. ගොවි සංවිධානවලට අපි දින වෙන් කර දී තිබෙනවා. ගොවි සංවිධාන හතළිස් තුනක් මේ ගොවි ජනපද ව්‍යාපාරයේ තියෙනවා. මේ අයට වෙන්කර තියෙන දිනවලට ඇවිල්ලා මේ කාර්යය කරන්න ඕනෑ. ගිය සැරේ සමහර ගොවි සංවිධාන එන්න ඉස්සෙල්ලා වැඩේ සාර්ථක වුණා. ඒ නිසා ගිය සැරේ ආපු නැති ගොවි සංවිධානවලට මේ සැරේ ප්‍රමුඛත්වය දුන්නා.”

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.සුබ්‍රමණිම් මහතා “මීටර් දෙසිය පනහක් දුරට ගඟ හරස් කරලා වැලි ගෝනි දහදාහක් ගහන්න ඕන. දින පහක් විතර යන වැඩක්. සැඩ පහරත් වැඩි නිසා ගොඩක් වෙලාවට වැලි ගෝනි ගලවගෙන යන්නත් ඉඩ තියෙනවා.”