
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුරකථනය ඔස්සේ අසත්‍ය තොරතුරු හුවමාරු කර මහජනතාව කලබලයට පත් කරන්නන්ට දඬුවම් ලබාදීමේ අරමුණින් යුත් ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කරන ලද්දේ සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා විසිනි.
ඕනෑම විදුලි සංදේශ නිලධාරියකුට හෝ ඕනෑම පුද්ගලයකුට කරදරයක්, අපහසුතාවක් හෝ අනවශ්‍ය කණස්සල්ලක් ඇති කිරීමේ අරමුණින් සාධාරණ නිදහසට කරුණක් නොමැතිව වෙනත් ග්‍රාහකයන්ගේ දුරකථන අංක ප්‍රකාශ කිරීම, යැවීම හෝ සම්ප්‍රේෂණය කිරීම, අඛණ්ඩව දුරකථන ඇමතුම් ලබාදීම හෝ පණිවිඩ යැවීම, සම්ප්‍රේෂණය කිරීම යන වරද රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට යටත් වේ.
එවැනි වැරදි කරන පුද්ගලයෙකුගේ දුරකථන සම්බන්ධතා විසන්ධි කිරීමට ද ප්‍රතිපාදන තිබේ.
මහජන කැළඹීමක් ඇති කිරීමට හෝ මහජන සාමයට බාධා කිරීමේ අරමුණින් හිතාමතාම දුරකථන ඇමතුම් ලබා දෙන හෝ පණිවිඩ යැවීමේ හෝ සම්ප්‍රේෂණය කරන සෑම පුද්ගලයෙකුටම රුපියල් මිලියනය නොඉක්මවන දඩයකට හෝ සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් වේ.
වරදක් අඛණ්ඩව සිදු වුවහොත්, එම වරද සිදු කරන සෑම දිනකම වරදකරුට රුපියල් එක්දහස් පන්සියයක දඩ මුදලක් අය කෙරේ.
මීට අමතරව කිසියම් පුද්ගලයකු නොමඟ යවනසුළු තොරතුරු ලබා දීම, ඕනෑම විදුලි සංදේශ නිලධාරියකුට අසත්‍ය තොරතුරු ලබාදීම යන වරද සඳහා රුපියල් ලක්ෂයක දඩයක් ද නියම කෙරේ.
සාවද්‍ය තොරතුරු ලබාදීම සඳහා වන විදුලි සංදේශ යන්ත්‍ර මහේස්ත්‍රාත්වරයකුගේ නියෝගයක් මගින් රාජසන්තක කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ ඇති සබ්මැරීන් කේබල් අධීක්‍ෂණය කිරීමට, කළමනාකරණය කිරීමට සහ ආරක්‍ෂා කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පනත් කෙටුම්පත මඟින් බලය පැවරේ.
ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය යොදා ගැනේ.
ගුවන්විදුලි සේවා සපයන්නන්ට අන්තර් සම්බන්ධතා ගිවිසුම්වලට එළඹීමට ඉඩ සැලසීමට පනත් කෙටුම්පත තවදුරටත් විධිවිධාන සපයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart