August 3, 2026

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහා සුදුසුකම් ලත් අධ්‍යක්ෂවරයකු පත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දැඩි පරිපාලන අර්බුදයක් මතුව ඇති බවත්, එමගින් රෝගී සත්කාරක සේවාවන් අවදානමකට ලක්ව ඇති බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව චෝදනා කරයි.

රෝහල් පරිපාලනය පිළිබඳ පළපුරුද්දක් සහ සුදුසුකම් සහිත විශේෂඥ වෛද්‍යවරයකු එම ආයතනයේ ප්‍රධානියා ලෙස පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වසරකට වැඩි කාලයක් තිස්සේ අසමත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

සුදුසුකම් ලත් අධ්‍යක්ෂවරයකු නොමැති වීම නිසා රෝහලේ දෛනික කටයුතුවලට බාධා පැමිණ ඇති අතර, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මත දැඩි පීඩනයක් එල්ල වී තිබෙන බවත් අවශ්‍ය සුදුසුකම් නොමැති පුද්ගලයන් විසින් රෝහල පාලනය කිරීම හේතුවෙන් පරිපාලනය අක්‍රමවත් වී ඇති අතර, එය රෝගී සත්කාරක සේවාවන් කෙරෙහි සෘජුවම බලපාන බවටත් හෙතෙම අනතුරු අඟවයි.

මෙම තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට සුදුසුකම් ලත් අධ්‍යක්ෂවරයකු පත්කර පරිපාලනය යථා තත්ත්වයට පත්කිරීමටත්, මහජන විශ්වාසය තහවුරු කිරීමටත් මැදිහත් වන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියි.