July 12, 2026

රටේ අධිකරණ ක්ෂේත්‍රය සහ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් පහුගිය දිනවල දේශපාලන කරළියේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම ආණ්ඩුව තමන්ට හිතවත් විනිසුරුවරුන්ගේ සේවා කාලය පමණක් වසර දෙකකින් දීර්ඝ කරගනිමින් තමන්ට අවශ්‍ය පරිදි නඩු තීන්දු ලබාගැනීමට උත්සාහ කරන බවට විපක්ෂය සහ ඇතැම් පාර්ශ්වයන් විසින් දැඩි චෝදනාවක් එල්ල කරමින් සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් විසින් මෑතකදී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුවේ මෙම ‘ප්‍රජාතන්ත්‍ර විරෝධී’ උත්සාහයට එරෙහිව එක්වන ලෙසයි. එමෙන්ම පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටියේ මෙම ක්‍රියාවලියට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග ඒකාබද්ධ කරන ලෙසයි. මෙමඟින් පැහැදිලි වන්නේ තමන්ට එරෙහිව පවතින දේශපාලනමය සහ අපරාධ නඩුවලින් බේරීම සඳහා විපක්ෂය තුළ යම් ආකාරයක අනියත බියක් හටගෙන ඇති බවයි. මක්නිසාද යත් හොරකම් සහ දූෂණ චෝදනා එල්ල වී ඇති පිරිස් සැමවිටම අධිකරණය දෙස බලන්නේ තම දේශපාලන සතුරා දෙස බලන ආකාරයෙන් වන බැවිනි.

කෙසේවෙතත්, වාර්තා වන අන්දමට ආණ්ඩුවේ සැබෑ සූදානම වන්නේ අග්‍රවිනිශ්චයකාරවරයාගේ හෝ උසස් අධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙකුගේ පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පහළම මට්ටමේ මහේස්ත්‍රාත්වරුන් දක්වා වන ‘සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමයි’. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් වීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ පවතින දැඩි විනිසුරු හිඟය සහ නඩු විසඳීමේදී සිදුවන අධික ප්‍රමාදය මීට ප්‍රධානතම හේතුව වී තිබේ. දැනට පවතින තත්ත්වය අනුව අපරාධ නඩුවක් අවසන් වීමට වසර 10කට වඩා වැඩි කාලයක් ගතවන අතර, දේශපාලන නඩු සඳහා ඊටත් වඩා කාලයක් ගතවේ. මෙවැනි පසුබිමක, ඉන්නා විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ නඩු කඩිනම් කිරීමට අත්‍යවශ්‍ය පියවරකි.

පසුගියදා අධිකරණ සේවා සංගමයේ සභාපති විනිසුරු ප්‍රසන්න අමරසේන සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ, විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට කැමැත්ත හෝ අකැමැත්ත විමසීම සඳහා ලේකම්වරයා විසින් කැඳවා තිබූ රැස්වීමට විරෝධය පළකරමිනි. ඉන් අනතුරුව පැවැති රැස්වීමේදී ගණපූර්ණය පවා නොමැතිව(වාර්තා වන්නේ එසේ වූ බවය), ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීමට විරුද්ධ වන බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

එහෙත් සමස්තයක් ලෙස ගත්කල, පහළ අධිකරණවල සිටින විනිසුරුවරුන්ට තමන්ගේ උසස්වීම් අපේක්ෂාවන් පවතින බැවින් සහ සමස්ත විනිසුරුවරුන්ගේම සේවා කාලය දීර්ඝ වන්නේ නම් ඊට කිසිදු විනිසුරුවරයකු විරුද්ධ වීමට සාධාරණ හේතුවක් නැත. වෛද්‍යවරුන්ගේ සේවා කාලය දීර්ඝ කරන විට ඊට වෛද්‍යවරුන් විරුද්ධ නොවන්නා සේම, මෙම ගෞරවනීය වෘත්තියේ නිරත විනිසුරුවරුන් ද සමස්ත සේවා දිගුවකට කැමැත්තක් දක්වනු ඇත.

මෙම සමස්ත ක්‍රියාවලිය සඳහාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවට පවතින කතාව ද අසත්‍යයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වයස් සීමාවන් වෙනස් කිරීමට පමණි. මහාධිකරණ සහ ඒ යටතේ පවතින පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සාමාන්‍ය පනත් සංශෝධනයක් මඟින් සිදුකිරීමට ආණ්ඩුවට හැකියාව පවතී.

අවසාන වශයෙන්, මෙම තීරණය දේශපාලන වාසි තකා සිදුකරන්නක් නොව, රටේ සමස්ත අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගන්නා ප්‍රගතිශීලී පියවරක් ලෙස දැකිය හැකි අතර, මීට විරුද්ධ වන්නේ තමන් කළ වැරදිවලට දඬුවම් ලැබීමට බියෙන් පසුවන දූෂිත දේශපාලනඥයන් පමණි.