August 26, 2026

යාපනය ලන්දේසි බලකොටු පරිශ්‍රයේ සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී, එහි පැවති මුල් පෘතුගීසි බලකොටුවට අයත් ආරක්ෂක මුරකුළුණක නටබුන් හමුවී තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ යාපනය ව්‍යාපෘතිය යටතේ මෙම කැණීම් කටයුතු ක්‍රියාත්මක වේ.

කැණීම් භාර නිලධාරීන් සඳහන් කරන්නේ ඉදිරියේදී මෙම නටබුන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට නියමිත බවයි.

මෙම සොයාගැනීමේ ඓතිහාසික පසුබිම පිළිබඳව පැහැදිලි කරමින් කැණීම් නිලධාරී මධුක දිල්ෂාන් පෙරේරා සඳහන් කළේ, 1613 වසරේදී පෘතුගීසීන් විසින් මෙම බලකොටුව ප්‍රථමයෙන් සමචතුරස්‍රාකාර හැඩයෙන් නිර්මාණය කළ බවයි.

පසුව 1658 වසරේදී බලකොටුව අල්ලාගත් ලන්දේසීන්, එය වර්තමානයේ දක්නට ලැබෙන බලකොටුව ලෙස නැවත නිර්මාණය කර ඇත.

එහිදී පෘතුගීසි බලකොටුවේ ඇතැම් කොටස් ද ලන්දේසීන් විසින් තම නිර්මාණයට ඈඳාගෙන ඇති අතර, 1613 දී පෘතුගීසීන් ඉදිකළ මුල් ආරක්ෂක මුරකුළුණක සාධක මෙලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ කැණීම් මගින් අනාවරණය කර ගැනීමට හැකිවූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.