August 27, 2026

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය පානය කිරීමෙන් මිනිස් ජීවිතවලට බරපතල අවදානමක් එල්ල විය හැකි අතර, එම ජලය පාවිච්චි කිරීම මරණය පවා කැඳවිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි පැවසීය.

මෑතකදී පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපත් කළ වාර්තාවලට අනුව ඔහු මෙම අදහස් පළකළේය.

ඔහුට අනුව, බ්‍රිතාන්‍ය විජිත සමයේදී ඉදිකරන ලද සහ මුලදී කුඩා ජලාශ කිහිපයකින් පෝෂණය වූ ග්‍රෙගරි වැව මේ වන විට දැඩි ලෙස දූෂණය වී පවතී.

කාලයත් සමඟ මෙම කුඩා ජලාශ ගොඩවීම හේතුවෙන්, උඩරට කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන කෘමිනාශක, පොහොර, විවිධ රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් අපද්‍රව්‍ය ග්‍රෙගරි වැවට එකතු වීමෙන් එහි ජල සංයුතිය අන්තරායකාරී ලෙස වෙනස් වී ඇති බව ඔහු සඳහන් කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ දත්තවලට අනුව, ජලයේ තිබිය යුතු සාමාන්‍ය පොස්පේට් මට්ටම මිලිග්‍රෑම් 0.20 ක් පමණ විය යුතු අතර, ග්‍රෙගරි වැවේ එම ප්‍රමාණය මිලිග්‍රෑම් 1.04 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම, සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 0.50 ක් පමණ විය යුතු නයිට්‍රජන් මට්ටම මිලිග්‍රෑම් 3.70 දක්වා ඉහළ ගොස් ඇති අතර, ජෛව රසායනික ඔක්සිජන් මට්ටම(BOD) මිලිග්‍රෑම් 9.72 දක්වා ඉහළ ගොස් තිබේ.

ජලයේ සිදුව ඇති මෙම බරපතල වෙනස්කම් මිනිස් ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ කමිටුවක් හරහා ඉදිරි පියවර සැලසුම් කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.