May 18, 2026

ප්‍රසිද්ධ නේපාල කඳු මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු(ෂර්පාවරු) එවරස්ට් කන්ද තරණය කිරීමෙන් සහ ඔවුන්ගේම වාර්තා බිඳදැමීමෙන් නැවත වරක් ඉතිහාසයට එක් වී තිබේ.

‘එවරස්ට් මිනිසා’ ලෙස හැඳින්වෙන කමි රීටා ෂර්පා, 32 වැනි වරටත් කඳු මුදුනට ළඟා වූ අතර, එමගින් පසුගිය වසරේ ඔහු තැබූ ලෝක වාර්තාව අලුත් කළේය. 56 හැවිරිදි ඔහු 1994 දී මාර්ගෝපදේශකයකු ලෙස සේවය කරමින් සිටියදී පළමුවරට එවරස්ට් තරණය කළ අතර එතැන් සිට සෑම වසරකම පාහේ තරණය කිරීම දිගටම කරගෙන යයි.

‘කඳු රැජිණ’ ලෙස හැඳින්වෙන ලක්පා ෂර්පා, 11 වැනි වරටත් එවරස්ට් තරණය කිරීමෙන් නව වාර්තාවක් ද පිහිටුවීය.

ඇය ප්‍රථම වරට 2000 දී කඳු මුදුනට ළඟා වූ අතර ලොව උසම කන්ද සාර්ථකව නැඟී ආපසු පැමිණි පළමු නේපාල කාන්තාව බවට පත්විය.

නේපාලයේ නිලධාරීන් කඳු නගින්නන් දෙදෙනාම රටට ආඩම්බරයක් ගෙන ඒම සහ අන් අයට ආශ්වාදයක් ලබාදීම ගැන ප්‍රශංසා කර ඇත.

මෙම වසරේ, නේපාලය මාර්තු සිට මැයි දක්වා කාලය තුළ එවරස්ට් කඳු නගින්නන් සඳහා වාර්තාගත බලපත්‍ර 492 ක් නිකුත් කළේය.

1953 දී ටෙන්සිං නෝර්ගේ සහ එඩ්මන්ඩ් හිලරි විසින් එවරස්ට් කන්ද ප්‍රථම වරට නිල වශයෙන් තරණය කළ දා සිට මේ දක්වා 8,000 කට අධික පිරිසක් එය තරණය කර ඇත.

කෙසේ වෙතත්, වැඩිවන කඳු නගින්නන් සංඛ්‍යාව කන්දෙහි තදබදය සහ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල මතුකර තිබේ.