July 31, 2024

ඇල්ල ආරුක්කු නවය පාලම ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා මධ්‍යම සංස්කෘතික අරමුදල අතර අවබෝධතා ගිවිසුමක් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින අගමැති කාර්යාලයේදී අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ජාතික උරුම ස්ථානයක් ආශ්‍රිතව ගිලන් රථ සේවයක් මෙහිදී ආරම්භ කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතියේ දෙවැනි පියවර ලෙස දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්‍රිතවද සංචාරක කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යෝජනා වී ඇත.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක කේන්ද්‍රස්ථාන මෙවැනි ව්‍යාපෘති මඟින් සංවර්ධනය කර සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමට කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කරන බවයි. එකල මෙම නිර්මාණ ඉංජිනේරු ක්ෂේත්‍රයේ තුළ ඉහල ඇගයීමට ලක්වු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා මෙම ව්‍යාපෘති සිදු කිරීමේදී ස්වාභාවික පරිසරයේ පැවැත්ම සහ ස්ථිරභාවය ආරක්ෂා වන පරිදි සහ අනාගත පරපුරේ උරුමය පිළිබඳවද සැලකිල්ලක් දක්වන්නැයි ද අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ඇල්ල ඔඩිසි, දුන්හිද ඔඩිසි හා කැලිප්සෝ දුම්රියන් මෙහි වැදගත් පියවරක් බවයි.

මෙම ව්‍යාපෘති ආශ්‍රිතව ඉතාම වැදගත්කමක් උසුලන දුම්රිය සේවය නවීකරණය කර සංවර්ධනය කිරීමේ යෝජනාව ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් මේ වන විටත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රණසිංහ සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එස්.එස් මුදලිගේ මෙම ගිවිසුම සඳහා අත්සන් තබන ලදී.