February 25, 2026

ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇති බව අනාවරණය වීමත් සමඟ, දින කිහිපයකට පෙර සිය පළමු T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ ඉතාලියේ ක්‍රිකට් ක්‍රීඩා අංශය අර්බුදයකට ලක්ව ඇත.

අසුරි කාන්තා කණ්ඩායමේ සාමාජිකාවක නුසුදුසු ලෙස ස්පර්ශ කළ බවට කරන ලද චෝදනාවකට අදාළව ෆෙඩරසියෝන් ක්‍රිකට් ඉටැලිනා හි කාන්තා ක්‍රිකට් සම්බන්ධීකාරක 57 හැවිරිදි ප්‍රභාත් එක්නැලිගොඩ මෙලෙස අපරාධ පරීක්ෂණයකට භාජනය විය.

මෙම සිද්ධිය සහ අනෙකුත් පාලන ගැටළු සම්බන්ධයෙන් ඉතාලි මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙකු ඉල්ලා අස්වී ඇති බව බීබීසී ස්පෝර්ට් වාර්තාකර තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක් විසින් පසුගිය වසරේ මාර්තු මාසයේදී රෝමයේ පොලිසියට ලිංගික අතවර චෝදනාව ඉදිරිපත් කර තිබේ.

නීතිමය හේතූන් මත අනන්‍යතාව හෙළිකර නොමැති එම ක්‍රීඩිකාව, පුහුණු සැසියකදී දණහිසේ ආබාධයක් සම්බාහනය කිරීමේදී ලිංගික අතවරය සිදු වූ බවට චෝදනා කර ඇත.

කණ්ඩායමේ ස්ථානය අහිමි වේ යැයි බිය වූ නිසා ඇය සිද්ධිය වාර්තා කිරීමට බිය වී තිබේ.

2025 නොවැම්බර් මාසයේදී මේ සම්බන්ධයෙන් රෝම නඩු පවරන්නකු විසින් විමර්ශනයක් අවසන් කරන ලද අතර ඊළඟ මාසයේ පොලිසිය එක්නැලිගොඩ සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී සොයාගත් සාක්ෂි නඩු විභාගයට ගෙන ඒමට ප්‍රමාණවත් ද යන්න පිළිබඳ දැන් තීරණයක් ගැනීමට නියමිතය.

එක්නැලිගොඩගේ නීතිඥවරයා පැවසුවේ තම සේවාදායකයා චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සහ මෙම චෝදනාවට යටි අරමුණු ඇති බවයි.

ෆෙඩරසියෝන් ක්‍රිකට් ඉටැලිනා බීබීසී ස්පර්ට් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ දැනට ෆෙඩරල් නඩු පැවරීමේ කාර්යාලය ඉදිරියේ නඩු කටයුතු සිදුවෙමින් පවතින අතර අදාළ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

මෙම කාරණයෙන් පැන නගින ඕනෑම තීරණයක් සඳහා සම්මේලනය නිසි අධිකරණ බලධාරීන්ට යටත් බව ද එහි දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ උපන් එක්නැලිගොඩගේ රාජකාරී පසුගිය නොවැම්බර් මාසයේදී ෆෙඩරසියෝන් ක්‍රිකට් ඉටැලිනා විසින් අත්හිටුවන ලදී.

ඔහු ෆෙඩරසියෝන් ක්‍රිකට් ඉටැලිනා සභාපතිනී මාරියා ලොරේනා හස් පාස්ගේ සහකරු වන අතර පිරිමි T20 ලෝක කුසලානය සඳහා ඇය සමඟ ඉන්දියාවට ද ගොස් තිබිණි

ෆෙඩරසියෝන් ක්‍රිකට් ඉටැලිනා හි කාර්ය මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් මෙම කාරණය සහ අනෙකුත් පාලන ගැටළු සම්බන්ධයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, එමඟින් හස් පාස්ගේ ස්ථාවරය දැඩි පරීක්ෂාවට ලක් වී ඇති බවත් වාර්තා වේ