September 3, 2026

2026 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 193ක් ලබාගනිමින් සිංහල මාධ්‍යයෙන් දිවයිනේ ඉහළම ලකුණ හිමිකර ගැනීමට ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.බී.එම්. දනෝෂ් තීක්ෂණ වීරසේකර ශිෂ්‍යයා සමත්වී ඇත.

තමන් ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් දනෝෂ් පැවසුවේ, මෙවැනි ඉහළ ලකුණක් ලබා ගැනීමට තමන්ට මඟ පෙන්වූ පන්ති භාර ගුරුතුමියට, විදුහල්පතිතුමාට ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයටම සිය ස්තූතිය පුද කරන බවයි.

පාසලේ ගුරුවරුන්ට අමතරව සිය පවුලේ අයගෙන් ලැබුණු සහයෝගය ද දනෝෂ් මහත් ආදරයෙන් මතක් කර සිටියේය.

එම පාසලෙන්ම ශිෂ්‍යත්ව විභාගය සමත්ව දැනට මලියදේව බාලිකා විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිය සහෝදරියගෙන් සහ පියාගෙන් විභාගයට සූදානම් වීමට විශාල රුකුලක් ලැබුණු බව ඔහු සඳහන් කළේය.

“මගේ තාත්තා මට කිසිම අඩුවක් කළේ නෑ. දවසේ වැඩේ දවස ඇතුළෙම කරමින් හරිම විනෝදයෙන් තමයි මම විභාගයට සූදානම් වුණේ” යැයි පැවසූ දනෝෂ් තමා ලබාගත් ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටු වන බවත්, ඉදිරියේදී හොඳ පාසලක අධ්‍යාපනය ලබා අනාගතයේදී දක්ෂ ඉංජිනේරුවෙකු වීම තමන්ගේ එකම බලාපොරොත්තුව බවත් වැඩිදුරටත් පැවසීය.