August 6, 2023

නිසි ක්‍රමවේද අනුව පාසල් වාර විභාග වසරටම එකක් පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

එසේම ඉදිරියේදී එක් පාසල් වාරයක් සඳහා එක වැඩපොතක් වනසේ අධ්‍යයන වාර තුන සඳහා පාසල් වැඩපොත කොටස් තුනකින් යුතුව සිසුන් අතට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩුකිරීම එමගින් අපේක්ෂිත බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

සිසුන්ගේ කශේරුකාව සෘජුව තබාගෙන ශරීර සුවතාව ආරක්ෂා කරගැනීමටද මෙම පාසල් බෑගයේ බර අඩුවීම බලපාන බව පවසන ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, දරුවන්ගේ පෝෂණය සඳහා දෙමාපියන්ට මුදල් යෙදවීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අමතර පන්ති සඳහා අනවශ්‍ය පරිදි වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කිරීම බවයි.

මේ තත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ සිට පළමු වසරෙන් ආරම්භ වී වසරකට එක විභාගයක් පමණක් පවත්වන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

එසේ වුවත් සෑම පාඩමක් හෙවත් මොඩ්‍යුලරයක් අවසානයේම තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා, වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බවත්, මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩ්‍යුලර් ලකුණු 30%ක් වශයෙන් සැළකෙන නමුදු ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් ඇමතිවරයා පවසයි.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේදී පාසල් පැමිණීම, රැඳී සිටීම හා එදිනෙදා පන්තියේ වැඩ කිරීම අනිවාර්ය වන නිසා අමතර පන්ති යෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.