March 2, 2026

සයිප්‍රසයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කඳවුරක් වන ඇක්‍රොටිරි වෙත ඊයේ රාත්‍රියේ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඇක්‍රොටිරි (Akrotiri) යනු සයිප්‍රසයේ දකුණු වෙරළ තීරයේ පිහිටි බ්‍රිතාන්‍ය ස්වෛරී කඳවුරු ප්‍රදේශයක් වන අතර, මෙය එක්සත් රාජධානියේ පාලනය යටතේ පවතින අතර ප්‍රධාන වශයෙන් ගුවන් හමුදා කඳවුරක් ලෙස හමුදාමය උපායමාර්ගික කටයුතු සඳහා භාවිත කරයි.

කෙසේවෙතත් ප්‍රහාරයෙන් සීමිත හානියක් සිදුව ඇති අතර, කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බව සයිප්‍රසයේ ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

1986 දී ලිබියානු සටන්කාමීන් විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකින් පසු බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට එල්ල වූ පළමු ප්‍රහාරය වන මෙම සිදුවීම ගැටුමේ කැපීපෙනෙන තීව්‍රතාවක් නියෝජනය කරයි.

කෙසේවෙතත් රටේ සියලුම දක්ෂ හමුදා සේවාවන් සීරුවෙන් සහ පූර්ණ මෙහෙයුම් සූදානමකින් යුක්තව සිටින බව සයිප්‍රසයේ ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩවුලයිඩ්ස් පැවසීය.

ෂාහෙඩ් වර්ගයේ නියමුවන් රහිත ඩ්‍රෝන යානය අද අලුයම 12:03 ට හමුදා කඳවුරට කඩාවැටීමෙන් සුළු හානියක් සිදු වූ බව ඔහු තවදුරටත් පැවසීය.

“මට පැහැදිලිව කියන්න ඕන: අපේ රට කිසිම ආකාරයකින් මෙම ගැටුම සඳහා සහභාගී නොවන අතර කිසිදු හමුදා මෙහෙයුමක කොටසක් වීමට අදහස් නොකරයි,” යනුවෙන් ජනාධිපති ක්‍රිස්ටෝඩවුලයිඩ්ස් පැවසීය.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉරානයේ නිෂ්පාදිත ෂාහෙඩ් වර්ගයේ ඩ්‍රෝන යානයකින් ද යන්න අනාවරණ වී නොමැති බව විදෙස් ජනමාධ්‍ය පවසයි.