May 21, 2026

ගණිකාවගේ ප්‍රකාශයක් මත භික්ෂූන් වහන්සේ නමක අත්අඩංගුවට ගත් බවට තමන් සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සර්වජන බලය ජාතික මෙහෙයුම් ප්‍රධානී දිලුම් අමුණුගම පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඔහු සඳහන් කරන්නේ එම තොරතුර තමන්ට මාධ්‍යවේදියෙක් ලබාදුන් එකක් බවයි.

“ඒ මම කියපු ප්‍රකාශය මාධ්‍යවේදියෙක් අහපු එකට මට ලැබුණු ආරංචිය තමයි මම සඳහන් කෙරුවේ. ඒක සමාජ මාධ්‍ය විසින් විකෘති කරලා ඒ දරුවාට ගණිකාවක් කිව්වයි කියලා තමයි සමාජ මාධ්‍යයේ දිගින් දිගටම ගහන්නේ. ඒ නිසා ඒ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හරි හිතනවා නම් ඒක සිද්ධ වුණේ එහෙමයි කියලා, එහෙම නෙමෙයි ඒ සිද්ධිය වුණේ.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

“මට ආරංචි වෙච්ච විදිහට මේ සිද්ධිය ආරම්භ වෙන්නේ නිට්ටඹුවේ. නිට්ටඹුව ප්‍රදේශයේ යම් එවැනි කාන්තාවන් අලෙවි කරන ස්ථානයක් පොලිසියෙන් වටලලා, ඒ ස්ථානයේ හිටපු ඒ කාන්තාවන් හෝ කාන්තාවක් දීපු ප්‍රකාශයක් මත තමයි ඔය සිද්ධිය මේ දක්වා ගියයි කියන එක තමයි මගේ අවබෝධයේ තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ මාධ්‍යවේදියා ඒ ගැන විමසපුවාම මම සඳහන් කෙරුවේ මට ආරංචි හැටියට මෙහෙම කෙනෙක් තමයි ප්‍රකාශයක් දීලා තියෙන්නේ කියලා. පැමිණිල්ලක් නෙවෙයි, ප්‍රකාශයක් දීපු එක. ප්‍රකාශයක් අනුව, ඒ ස්ථානයේදී දීපු ප්‍රකාශයක් අනුව තමයි මේ පරීක්ෂණ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලා ආරංචියි කියන එක තමයි මම සඳහන් කෙරුවේ” යැයි ඔහු සඳහන් කළේය.

“අපි දන්නවා මඩ ගහන කණ්ඩායමුත් ඉන්නවා. හැබැයි මම දැක්කා එහෙමත් නොවෙන, මටත් හිතවත් පිරිසුත් මේ පිළිබඳ මගෙන් ප්‍රශ්න කෙරුවා මේ දරුවා පිළිබඳවද මෙහෙම කිව්වේ කියන කාරණය. ඒ නිසා මම ඒක නිවැරදි කරන්න ඕනේ. ඒ දරුවා ගැන එහෙම කියන්න බැරි බවත් මම දන්නවා. අපි එහෙම කියන්නෙත් නැහැ. ඔබතුමාලත් දන්නවා අවුරුදු විස්සක් විතර මම දේශපාලනයේ ඉඳලා තියෙනවා, අපි කවදාවත් මඩ දේශපාලනයක්වත් කාටවත් ගරහන ප්‍රකාශයක්වත් අපි කරන්නේ නැහැ. නමුත් ඒ ප්‍රශ්නයට උත්තරෙයි මම දුන්නේ මම දන්න තරමට. නමුත් ඒ ප්‍රකාශය තුළින් ඒ දරුවාට හෝ ඒ දරුවාගේ කාට හරි හෝ මේ කියන සමාජයේ කාට හෝ සිත් රිදීමක් ඇති වී තිබෙනවා නම්, වැරදි අවබෝධයක් නිසා හෝ, ඒ පිළිබඳව මගේ කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. නමුත් ඒ ප්‍රකාශය කෙරුවේ මම අර අර්ථයෙන් ඔය කියන නිට්ටඹුවේ සිද්ධියට අදාළව මිසක් මේ දරුවාගේ සිද්ධියට අදාළව නෙමෙයි කියන කාරණය පැහැදිලි කරන්න අවශ්‍යයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.