June 6, 2024

ප්‍රභාකරන් ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු තවමත් ජීවතුන් අතර සිටින බවට අසත්‍ය ප්‍රකාශ කරමින් ඩයස්පෝරාවේ සිටින පිරිසක් ඇතැමුන් රවටා ඇති බව දෙමළ ඩයස්පෝරාව ඉලක්ක කරගත් වංචාවක් හෙළිකරමින් එල්ටීටීඊ නිර්මාතෘ වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමහල් සොහොයුරා වන වේළුපිල්ලේ මනෝහරන් ප්‍රකාශ කර තිබේ.

“මගේ සහෝදරයා වන ප්‍රභාකරන් සහ ඔහුගේ මුළු පවුලම මියගියා. මේ සත්‍ය පිළිගැනීම ඉතා වැදගත්. මගේ සහෝදරයාගේ පවුලේ අය ලෙස පෙනී සිටින මේ වංචනිකයින්ට නොරැවටෙන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් ඔබේ හැඟීම් හසුරුවමින් ඔවුන්ගේම වාසිය සඳහා මගේ සහෝදරයාගේ උරුමය ගසාකනවා,” මනෝහරන් ප්‍රකාශ කළේ මෙවැනි වංචනික ක්‍රමවලට ගොදුරු වීමට එරෙහිව අනතුරු අඟවමිනි.

මනෝහරන් ‘ජැෆ්නා මොනිටර්’ සඟරාවේ නවතම කලාපයට ප්‍රකාශ කර ඇත්තේ ප්‍රභාකරන් සහ ඔහුගේ පවුලේ සමහර සාමාජිකයන් තවමත් ජීවතුන් අතර සිටින බව සඳහන් කරමින් දෙමළ ඩයස්පෝරාවේ කොටසක් විසින් දෙමළ ජනතාවගෙන් මුදල් වංචා කිරීම සඳහා සිදුකරන ලද විශාල වංචාවක් අවසන් කිරීමට තමා මෙය ප්‍රකාශ කරන බවයි.

‘ජැෆ්නා මොනිටර්’ සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව එම්.ආර්.නාරායන් ස්වාමි විසින් Thefederal.com සඳහා නැවත සකස් කර තිබිණි.

ඩෙන්මාර්කයේ වෙසෙන මනෝහරන් පවසා ඇත්තේ “මගේ සහෝදරයා ජීවතුන් අතර සිටින බවත් විදේශයක ජීවත් වන බවටත් අසත්‍ය කටකතා පැතිරී තිබෙනවා. ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයා ලෙස, මෙම විකාර කතා අවසන් කිරීම මගේ වගකීමක් ලෙස මට හැඟුණා,” යනුවෙනි.

පසුගිය මාස කිහිපය තුළ බටහිර රටවල වෙසෙන තරුණ දෙමළ කාන්තාවක් තමන් ප්‍රභාකරන්ගේ දියණිය තවරාගා (ද්වාරකා) යැයි බොරුවට ප්‍රකාශ කර ඩයස්පෝරාව රවටා ඩොලර් මිලියන ගණනින් ලබාගෙන ඇති බව මනෝහරන් පැවසීය.

“ප්‍රභාකරන්ගේ වැඩිමහල් සහෝදරයා ලෙස ඔහුට සහ ඔහුගේ පවුලේ අයට සිදු වූ දේ පිළිබඳ සත්‍ය හෙළි කිරීමේ වගකීම මට තිබෙනවා. අපි කතා නොකළොත්, මෙම බොරු කතා ආධිපත්‍යය දරමින් ජනතාව මෙම විකාර සියල්ල විශ්වාස කරයි, ” යැයි ඔහු පැවසීය.

මනෝහරන් ශ්‍රී ලංකාව හැරගොස් තිබුණේ 1975 දීය.

මනෝහරන් ‘ජැෆ්නා මොනිටර්’ සඟරාවට පැවසුවේ තමා 2008 අවසානය දක්වා ප්‍රභාකරන් සමඟ නිතර දුරකථනයෙන් කතා කළ බවත්, ඔහු මරා දැමීමට මාස කිහිපයකට පෙර අවසන් වරට 2009 මැයි මාසයේදී කතා කළ බවත්ය.

අවසන් සංවාද සිහිපත් කරමින් මනෝහරන් පැවසුවේ ප්‍රභාකරන් තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බවත් අපගේ මව්පියන් ඔහු සමඟ සිටි බැවින් ඒ පිළිබඳ උපදෙස් ඉල්ලා සිටින බවයි.

එල්ටීටීඊයේ යුද්ධය අවසන් වීමට ආසන්න බව ප්‍රභාකරන් කවදා හෝ පිළිගත්තේ දැයි ඇසූ විට මනෝහරන් පවසා ඇත්තේ “නැහැ, ඔහු එහෙම කිව්වේ නැහැ. ඔවුන් දිගටම සටන් කරන බව කිව්වත් ගැටලු අතිමහත් බව පිළිගත්තා” යනුවෙනි.

ප්‍රභාකරන්ගේ පවුල පිළිබඳ ප්‍රකාශ කරමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රකට දෙමළ ඩයස්පෝරා සංවිධාන දෙකකට සහ බටහිර ප්‍රදේශයේ වෙසෙන ඇතැම් දෙමළ ජාතිකයන්ට මනෝහරන් චෝදනා කළේය.

“මෙම පුද්ගලයන් සහ සංවිධාන ජනතාව රැවටීම සඳහා සංකීර්ණ ජාලයක් සංවිධානය කර තිබෙනවා. ප්‍රභාකරන්ගේ දියණිය වන තවරාගා තවමත් ජීවතුන් අතර සිටින බවට බොරු ප්‍රකාශ කරමින් ඔවුන් දෙමළ ඩයස්පෝරාවේ සිතුම් පැතුම් සහ මූල්‍ය ආධාර ගසාකනවා. මේ වගේ ප්‍රකාශ ප්‍රභාකරන්ගේ පවුලට සහ දෙමළ අරමුණට ආධාර කරන බව විශ්වාස කරන ආධාරකරුවන්ගෙන් අරමුදල් ලබා ගැනීමට යොදා ගන්නවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.

“ඒ සියල්ල කරන්නේ පහසුවෙන් මුදල් හම්බකරන්න. තවරාගා ජීවමානයි කියා බොරු ප්‍රකාශ කිරීමෙන් ඔවුන්ට වෙහෙස මහන්සි වී වැඩ නොකර හෝ සැළකිව යුතු දෙයක් නොකර ඩොලර් මිලියන ගණනක් උපයා ගත හැකියි” යැයි මනෝහරන් පවසා තිබේ.

මනෝහරන් මෙම වංචාවට සම්බන්ධ එක් අයකු ශ්‍රීතරන් ලෙස නම් කර ඇති අතර, ඔහු 2004 දී ශ්‍රී ලංකාවේ යැයි පවසමින් රැගෙන ආ පුද්ගලයකුට උදව් කළ යුතු බවත් පැවසුවේයැයි සඳහන් කරයි.

“මම ඔහුට ක්‍රෝනර් 25,000ක් දුන්නත් පසුව දැනගත්තා ඒ පුද්ගලයා ඇත්තටම දෙමළ ඊළාමේ නෙවෙයි ඉතාලියේ කියලා. මම මේ ගැන මගේ සහෝදර ප්‍රභාකරන්ට පවා දැනුම් දුන්නා.” යැයි මනෝහරන් ප්‍රකාශ කර තිබේ.

මනෝහරන් පැවසුවේ ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ විට තම මව්පියන් හමුදාවට අයත් ප්‍රදේශයට ගිය පසු ඔවුන් සමඟ පැවති සබඳතා නැති වූ බවයි.

“අපි විවිධ දෙමළ ජාතිකවාදී මන්ත්‍රීවරුන්ගෙන් ඇහුවත් ඔවුන් අපට උදව් කළේ නැහැ. මන්ත්‍රීවරු කිහිප දෙනෙක් වක්‍රව මුදල් ඉල්ලා සිටියා අපේ මව්පියන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට.” යනුවෙන් ඔහු සඳහන් කළ ද එම මන්ත්‍රීවරුන්ගේ නම් හෙලිකිරීම ප්‍රතික්‍ෂේප කරමින් සඳහන් කළේ “ඔවුන් තවමත් පාර්ලිමේන්තුවේ සිටිනවා” යනුවෙනි.

යමෙකුට ප්‍රභාකරන්ගේ මතකයට සැබවින්ම ගරු කිරීමට අවශ්‍ය නම්, “ශ්‍රී ලංකාවේ සිටින අපගේ ජනතාවට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න. යුද්ධයෙන් විපතට පත් බොහෝ දෙමළ ජනතාව තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙනවා, දෛනික අරගලවලට මුහුණ දෙනවා. යුද්ධයෙන් විපතට පත් පුද්ගලයන්ගේ ජීවිත යළි ගොඩනැගීම සඳහා සම්පත් යොමු කරන්න. මගේ සහෝදරයාගේ උරුමය ජීවමානව තබා ගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපගේ දෙමළ ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ක්‍රියාකිරීම සහ පීඩාවට පත්වූවන් තවදුරටත් දුෂ්කරතා තුළ ජීවත් නොවීමට වග බලා ගැනීමයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.