July 4, 2026

පසුගිය සිකුරාදා (03) පැවැත්වුණු ඉරානයේ දිවංගත උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහභාගි වී සිය අවසන් ගෞරවය පුද කර තිබේ.

වාර්තාවලට අනුව චීනය, රුසියාව සහ ඉන්දියාව ඇතුළු රටවල් රැසක නිල නියෝජිතයන් ද මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගි වී ඇත.

එමෙන්ම ආසියානු සහ යුරෝපීය රටවල් කිහිපයක නියෝජිතයන් මෙන්ම අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු කලාපීය නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම අවමංගල්‍ය උත්සවය සඳහා රුසියාව, චීනය, පකිස්ථානය, ඉන්දියාව, තුර්කිය, ටර්ක්මෙනිස්ථානය, ටජිකිස්ථානය, ඉරාකය, ජෝර්ජියාව, ආර්මේනියාව, ඇෆ්ගනිස්ථානය, ඕමානය, කටාර්, අසර්බයිජානය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය, බංග්ලාදේශය, ඊජිප්තුව, කසකස්ථානය, ඝානාව, නිකරගුවාව, කොංගෝ ජනරජය, සර්බියාව, ටියුනීසියාව, ලෙබනනය, නැමිබියාව, මැලේසියාව, කියුබාව, ශ්‍රී ලංකාව, මියන්මාරය, ගැම්බියාව සහ තායිලන්තය යන රටවල් නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රිකයෝ සහභාගි වූහ.

දශක තුනකට වැඩි කාලයක් ඉරානය මෙහෙයවූ අයතුල්ලා අලි කමේනි, ටෙහෙරාන් අගනුවර ඉලක්ක කර ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ මහා පරිමාණ ගුවන් ප්‍රහාරවල පළමු දිනය වූ පෙබරවාරි 28 වැනිදා ඝාතනයට ලක්විය.