November 4, 2026

අධික වැඩ බර, දීර්ඝ සේවා කාලය සහ හමුදාවෙන් පිටත පවතින වඩා හොඳ රැකියා අවස්ථා ඇතුළු හේතු ගණනාවක් නිසා සන්නද්ධ හමුදා තුළින් පිරිස් ඉවත් වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සඳහන් කරයි.

ඊයේ (3) පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඩී. සූරියබණ්ඩාර යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

විදේශ රැකියා සහ අධ්‍යාපන අවස්ථා, සිවිල් ක්ෂේත්‍රයේ වඩා හොඳ රැකියා මෙන්ම තම වෘත්තීය සුදුසුකම් හා කුසලතාවලට වඩාත් ගැලපෙන වෘත්තීන් වෙත යොමුවීමට නිලධාරීන් තුළ ඇති කැමැත්ත ද මෙම ප්‍රවණතාවට බලපාන කරුණු ලෙස නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජයසේකර පෙන්වා දුන්නේය. පෞද්ගලික අංශයේ වැඩි ආදායම් ලැබීමේ අවස්ථා පැවතීම ද තවත් එක් හේතුවක් බව ඔහු පැවසීය.

එමෙන්ම අධික වැඩ බර සහ දීර්ඝ කාලයක් සේවය කිරීමට සිදුවීම ද ඇතැම් පිරිස් හමුදාවෙන් ඉවත්වීමට පෙළඹෙන හේතු ලෙස ඔහු සඳහන් කළේය.

පවුලේ මූල්‍යමය වගකීම් වැඩි වීම, පවුලෙන් වෙන්ව සේවය කිරීමට සිදු වන දුෂ්කර ප්‍රදේශවල සේවා ස්ථානගත කිරීම් සහ විවාහය හා පවුල් ජීවිතයට මුල් තැන දීමට ඇති උනන්දුව ද මීට අයත් අනෙකුත් කරුණු වේ.

හමුදා ජීවිතයට හුරුවීමේ අපහසුතාව මෙන්ම විනය අවශ්‍යතා සහ සේවා රෙගුලාසි පිළිබඳ පවතින නොසතුට ද මීට බලපාන තවත් හේතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

අවසරයකින් තොරව සේවය අතහැර යන, විශේෂයෙන්ම සිය රාජකාරි අතහැර විදේශගත වන හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය ද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජයසේකර මෙහිදී පැහැදිලි කළේය.

ඔහු පැවසූ පරිදි, අවසරයකින් තොරව සේවය අතහැර විදේශගත වන යුද හමුදා නිලධාරීන් සේවා අතහැර ගිය අය (Deserters) ලෙස සලකනු ලැබේ.

“ශ්‍රී ලංකාවේ අපරාධ සහ හමුදා නීතිය යටතේ, යුද හමුදාව අතහැර යෑම හෝ එසේ කිරීමට තැත්කිරීම හමුදාමය මෙන්ම අපරාධ වරදක් වෙනවා. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකරන පිරිස් සඳහා අදාළ වන ප්‍රතිපාදන යටතේ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබනවා. ඔවුන් සේවයේ තබා ගන්නවාද නැතහොත් සේවයෙන් ඉවත් කරනවාද යන්න තීරණය කරනු ලබන්නේ එම ප්‍රතිපාදනවලට අනුකූලවයි” යනුවෙන් ඔහු පැවසීය.

නාවික හමුදාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, නාවික හමුදා පනත යටතේ නින්දා සහගත ලෙස හෝ එසේ නොවන ලෙස සේවයෙන් පහකිරීම දඬුවමක් ලෙස ලබාදීමට ප්‍රතිපාදන පවතින බවයි. මෙම ප්‍රතිපාදන යටතේ සේවයෙන් පහකරනු ලබන පිරිසට නැවත නාවික හමුදාවට එක්වීමට සුදුසුකම් නොලබන බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් හමුදාව සම්බන්ධයෙන් ගත්කල, නඩු විභාගයකින් පසුව පනවන දඬුවමේ ස්වභාවය සහ ගුවන් හමුදාපතිවරයා වෙත ගුවන් හමුදා පනත මගින් පැවරී ඇති බලතල මත පදනම්ව තීරණ ගනු ලබයි.

(Daily Morning)