November 4, 2026

මත්පැන් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළයාමට සාපේක්ෂව සියලුම මත්පැන්වල මිල ගණන් 1 වැනිදා සිට ඉහළ දැමීමට සමාගම් පියවර ගෙන තිබේ.

හිස් බෝතල් නිෂ්පාදනය කරන සමාගම විසින් සිය පිරිවැය ඉහළ ගොස් ඇති බව කියමින් මිලිලීටර් 750ක හිස් බෝතලයකට රුපියල් 160ක මුදලක්ද මිලිලීටර් 375ක භාග බෝතලයක් සඳහා රුපියල් 140ක්ද, මිලිලීටර් 180ක කාල බෝතලයක් සඳහා රුපියල් 109ක මුදලක්ද වශයෙන් අය කරන ගාස්තුව ඉහළ දමා ඇතැයි මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි.

ඒ අනුව මෙරට වැඩිම අලෙවියක් සහිත ගල් බෝතලයක් සඳහා වයින් ස්ටෝර්ස් මගින් මෙතෙක් අය කළ රුපියල් 60ක තැන්පතු මුදල රුපියල් 100 දක්වාත්, භාග බෝතලයක් සඳහා අය කළ තැන්පතු මුදල රුපියල් 40 සිට රුපියල් 70 දක්වාද, කාල බෝතලයකට අය කළ රුපියල් 20ක තැන්පතු මුදල රුපියල් 30 දක්වාද වැඩි කිරීම පියවර ගෙන ඇත.

​​​බෝතල් ආපසු භාර නොගන්නා සමාගම් මත්පැන් මිලටම බෝතල් මිලදී ගන්නට වැය වන අමතර මුදල එකතු කර ඇතැයි ද සමාගම් කියාසිටී.

බෝතල් ආපසු භාර නොගන්නා මත්පැන් මිල ගණන් ද ඒ ආකාරයෙන් ඉහළ දමා එම මුදල පාරිභෝගිකයන් ගෙන් අය කර ගැනීමට සමාගම් පියවර ගෙන ඇත.

ගල් බෝතලයක මිලිලීටර 750ක බෝතලයකට රුපියල් සියයක තැන්පත් මුදලක් සමග බෝතලයක නව මිල රුපියල් 3800ක් දක්වා වැඩි කර තිබේ. ඉන් රුපියල් 360ක මුදලක් මත්පැන් අලෙවිසලට ලැබෙන අතර වැට් බදු ලෙස රජයට රුපියල් 611ක පමණ මුදලක් අය බවද සමාගම් කියා සිටියි.

සුරා බද්ද ඉහළ නොදැමුවත් හිස් බෝතල් මිලදී ගැනීමට යන මුදල ඉහළ යාම හේතුවෙන් එම මුදල මත්පැන් මිලදී ගන්නා අයගෙන් අය කර ගැනීම හැර විකල්පයක් නැතැයි සමාගම් කියා සිටී.

2022 අර්ථික අර්බුදයෙන් පසුව මෙරට මත්පැන්වල මිල ගණන් සියයට සියයකින් පමණ ඉහළ දමනු ලැබීය.

2024 වසරේ දී සුරා බද්ද ඉහළ දැමීමත් සමග සියලු මත්පැන් වර්ගවල මිල ගණන් රුපියල් 50ත් 60ත් අතර ගණනකින් වැඩි කිරීමට සමාගම් පියවර ගැනිණි. මැදපෙරදිග යුදමය තත්ත්වයත් සමග ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන 2025 ජනවාරි මස මත්පැන් මිල ගණන් රුපියල් 20කින් පමණ ඉහළ දමනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව තැන්පත් මුදල ඉහළ දැමූ ලැයිස්තුව සමාගම් විසින් දෙපාර්තමේන්තුවට එවා තිබෙන බවයි.

(උපුටාගැනීම – අරුණ පුවත්පත)