June 26, 2023

මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරියකුගේ නිල ඇඳුමක් පැලඳගෙන බන්ධනාගාර නිලධාරීන් නොමග යවා බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන්ම පැන ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිලධාරීන් මෙම සිරකරු ලුහුබැඳ ගොස් දුම්රියක නැගී සිටියදී මරදාන දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පැනයාමට තැත් කර ඇත්තේ ගම්පහ මහාධිකරණය විසින් 2015 මාර්තු 06 වැනිදා මරණ දඬුවම නියම කළ පන්නල ඉහළ කොටුවැල්ල පදිංචි 42 හැවිරිදි සිරකරුවෙකි.

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවූ සිරකරුවන් එළිමහනට ගෙන ඒම සඳහා දිනකට පැය භාගයක කාලයක් ලබා දුන්නත් ඉරිදා දිනවලදී ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඔවුන් පැය දෙකකට ආසන්න කාලයක් එළිමහනේ රඳවයි.

ඊයේ උදෑසන ද මරණ දඬුවම නියම වූ සිරකරුවන් ආගමික වතාවත් සදහා සිරමැදිරිවලින් පිටතට ගත් අවස්ථාවේදී බන්ධනාගාරයේ සී 3 මැදිරියේ රඳවා සිටි සිරකරුවකු තමාට දේවාලයට ගොස් ආගමික වතාවත් කිරීමට අවැසි බවට බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත.

ඒ අනුව සූක්ෂම ලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් මිදුනු මෙම සිරකරු ඒ අසල තිබූ කාමරයක එල්ලා තිබූ බන්ධනාගාර නිලධාරියකුට අයත් නිල ඇඳුමක්ද පැලඳ බන්ධනාගාරයේ පිටත ගේට්ටුව දෙසට පැමිණ ඇත.

මේ එන අතරතුර සිරකරුට වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාද හමුවී ඇති අතර එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරියකු වශයෙන් ප්‍රධාන ජේලර්වරයාට ආචාරයක්ද ඒ වෙනුවට ජේලර්වරයාද ප්‍රති ආචාරයක්ද සිදුකර ඇත.

අනතුරුව බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසලටම පැමිණි සිරකරු තමන් පල්ලන්චේන බන්ධනාගාරයේ නියාමකවරයකු බව පවසා බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුවෙන්ම පිටතට ගොස් ඇත.

එම අවස්ථාවේදීම බන්ධනාගාරය තුළින් පණිවුඩයක් නිකුත් වී ඇත්තේ මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු අතුරුදන්වී ඇති බවටය. ඒ වනවිට බන්ධනාගාරයෙන් පිටතට ගියේ පල්ලන්චේන බන්ධනාගාරයේ නියාමකවරයකු යැයි කී පුද්ගලයා පමණක් බව වටහා ගත් බන්ධනාගාර නිලධාරීන් ක්ෂණිකව මේ බව බන්ධනාගාර පාලනාධිකාරිය වෙත දැනුම් දි තිබිණි. ඒ අනුව පැනගිය සිරකරු ලුහුබැඳ යාමට සහ ඔහු යනු ඇතැයි සැක කළ තැන් පරීක්ෂා කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීහු ඊයේ උදෑසන පුළුල් මෙහෙයුමක් දියත් කළහ. බන්ධනාගාර නිලධාරීන් කොළඹ ප්‍රධාන බස් නැවතුම්පළවල් දෙකෙහි සහ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල සිරකරු සොයා මෙහෙයුම් දියත් කළහ.

මෙම අවස්ථාවේදී සිරකරු කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියක බන්ධනාගාර නිල ඇඳුමෙන් සිට ඇති අතර ඒ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් දැක සිරකරු වෙනත් දුම්රියකට පැන පලා යාමට උත්සහා දරා ඇත. මෙම අවස්ථාවේදී මහත් පරිශ්‍රමයක් දරමින් සිරකරු අල්ලා ගත් බව වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

(අරුණ පුවත්පත)