February 12, 2026

90 දශකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ යොවුන් නාට්‍යයක් වන ‘ඩෝසන්ස් ක්‍රීක්’ හි ප්‍රධාන චරිතයට පණ පොවමින් තරුවක් බවට පත් වූ 48 හැවිරිදි ජේම්ස් වැන් ඩර් බීක් මියගොස් තිබේ.

ඔහුගේ සත්‍යාපිත ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත පළ කරන ලද ප්‍රකාශයකට අනුව ඔහු ඊයේ(11) මිය ගොස් ඇත.

“ඔහු ඔහුගේ අවසන් දින ධෛර්යයෙන්, ඇදහිල්ලෙන් සහ කරුණාවෙන් සිටියේය,” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් විය.

“ඔහුගේ පැතුම්, මනුෂ්‍යත්වය සහ ආදරය පිළිබඳ බෙදා ගැනීමට බොහෝ දේ ඇත. ඒ දවස් පැමිණේවි. දැනට අපි අපගේ ආදරණීය සැමියා, පියා, පුත්‍රයා , සහෝදරයා සහ මිතුරා ගැන ශෝක වන බැවින් සාමකාමී පෞද්ගලිකත්වයක් ඉල්ලා සිටිමු.” යනුවෙන් එහි තවදුරටත් දක්වා තිබිණි.

වැන් ඩර් බීක් 2024 නොවැම්බර් මාසයේදී නිවේදනය කළේ ඔහු මහා බඩවැල ආශ්‍රිත 3 වැනි අදියරේ පිළිකාවකින් පෙළෙන බවයි.

වැන් ඩර් බීක් සමග දරුවන් හය දෙනෙකුට රැකවරණය දුන් ඔහුගේ බිරිඳ වන කිම්බර්ලි, ඔහුගේ මරණයෙන් පසු සමාජ මාධ්‍ය හරහා GoFundMe ව්‍යාපාරයකට සබැඳියක් බෙදා ගෙන තිබුණේ වැන් ඩර් බීක්ගේ අසනීප තත්ත්වය පවුල ‘මූල්‍යමය පීඩනයකට’ ලක් කළ බැවින් සහාය ඉල්ලා සිටීම සඳහාය.

“ජේම්ස්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන වියදම් සහ පිළිකාවට එරෙහි දීර්ඝ සටන නිසා පවුලට අරමුදල් අහිමි වී තිබෙනවා” යනුවෙන් එහි ප්‍රචාරක පිටුවේ සඳහන් වේ.

1977 දී කනෙක්ටිකට් හි චෙෂයර් හි උපත ලැබූ වැන් ඩර් බීක් දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා විය.

ඔහුට පාසලේදී රංගනය සඳහා කැමැත්තක් ඇති වූ අතර වයස අවුරුදු 15 දී, වෘත්තීයමය වශයෙන් ඒ සඳහා පිවිසීමට අවශ්‍ය බව ඔහු තම මවට පැවසීය.

“ඇය මාව නවතා දැමුවේ නැහැ,ඇය මාව නිව්යෝර්ක් නගරයට රැගෙන ගියා” ඔහු වරක් සිහිපත් කළේය.

වැඩි කල් යන්නට මත්තෙන්, ඔහු ‘Finding the Sun’ නම් නාට්‍යයකට රංගනයෙන් දායක වූ අතර පසුව නිව් ජර්සි හි ඩෲ විශ්වවිද්‍යාලයට අධ්‍යයන ශිෂ්‍යත්වයක් දිනා ගත්තේය.

1995 දී තිරගත වූ ‘ඇන්ගස්’ චිත්‍රපටයේ රික් සැන්ෆර්ඩ්ගේ චරිතය ඇතුළු තවත් චරිත ඔහු නිරූපණය කළ අතර, පසුව ක්ලෙයාර් ඩේන්ස් රඟපෑ ‘අයි ලව් යූ, අයි ලව් යූ නොට්’ චිත්‍රපටයේ ද සුළු චරිතයක් රඟපෑවේය.

පසුව වැන් ඩර් බීක් ‘ඩෝසන්ස් ක්‍රීක්’ හි ප්‍රධාන චරිතය සඳහා තිර පරීක්ෂණයකට සහභාගී වූ අතර එය ඔහුව තරුවක් බවට පත් කළේය