July 2, 2026

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට මන්ත්‍රී ධුරයක් දැරීමට ඇති සුදුසුකම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති ‘ක්වෝ වොරන්ටෝ’ රිට් පෙත්සම පිළිබඳ කරුණු දැක්වීම් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය විසින් 2026 අගෝස්තු 31 වනදා දින නියම කර තිබේ.

මෙම නඩුව අද දින අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ නමුත්, විනිසුරු මඩුල්ල නිසි පරිදි සම්පූර්ණ වී නොතිබීම හේතුවෙන් එය කල්තබන ලදී.

නව නිදහස් පෙරමුණේ නායක ඕෂධ හේරත් විසින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර, ඔහු කියාසිටින්නේ මන්ත්‍රී අර්චුනා රාමනාදන් රජයේ වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදීම පසුගිය මහමැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාර දී ඇති බවයි.

රජයේ සේවයෙන් ඉල්ලා අස්නොවී නාමයෝජනා භාරදීම පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කිරීමක් බව පෙන්වාදෙන පෙත්සම්කරු, අදාළ මන්ත්‍රීවරයාට නීත්‍යානුකූලව මන්ත්‍රී ධුරය දැරීමට අයිතියක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී.

හැකි ඉක්මනින් මෙම නඩුව කැඳවන ලෙස පෙත්සම්කරුගේ නීතිඥවරයා කළ ඉල්ලීමකට අනුව, අධිකරණය විසින් නඩු විභාගය අගෝස්තු 31 වනදාට නියම කළ අතර එය එදින නඩු ලේඛනයේ මුදුනින්ම ඇතුළත් කිරීමටද පියවර ගත්තේය.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් ෂෙනාල් ප්‍රනාන්දු සමඟ නීතිඥ එන්. කේ. අශෝක්භරන් පෙනීසිටි අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් වෙනුවෙන් නිෂාදි වික්‍රමසිංහ සමඟ නීතිඥ සේනානි දයාරත්න පෙනීසිටියේය.

රජයේ පාර්ශවයන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ පෙනීසිටියේය.