May 18, 2026

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 25ක් පමණ සපයනු ලබන බරකාහ් න්‍යෂ්ටික බලාගාරය ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගැනීමෙන් පසු, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි සංයමයකින් කටයුතු කරන ලෙස හදිසි ඉල්ලීමක් කළේය.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහන් වේ, “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බරකාහ් න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ඉන්දියාව දැඩි සේ කනස්සල්ලට පත්ව සිටී. මෙවැනි ක්‍රියාවන් කිසිසේත් පිළිගත නොහැකි අතර ඒවා භයානක ලෙස තත්ත්වය උග්‍ර කිරීමක් (escalation) පෙන්නුම් කරයි. අපි වහාම සංයමයෙන් කටයුතු කරන ලෙසත්, නැවත සාකච්ඡා මාර්ගයට සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයට අවතීර්ණ වන ලෙසත් හදිසි ඉල්ලීමක් කර සිටිමු.”

බරකාහ් බලාගාරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු කිසිදු තුවාල ලැබීමක් හෝ විකිරණ මට්ටම්වලට බලපෑමක් සිදු වූ බවක් වාර්තා වී නොමැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කළේ බටහිර මායිමෙන් ඩ්‍රෝන යානා තුනක් ඇතුළු වූ බවයි.

ඉන් එකක් න්‍යෂ්ටික බලාගාරයේ ඇතුළු සීමාවට පතිත වූ අතර අනෙක් ඩ්‍රෝන යානා දෙක අතරමගදී විනාශ කර දමා ඇත.

ඉරානයට එරෙහිව නැවත යුද්ධයක් ආරම්භ කිරීමට ඇමරිකාව සැලසුම් කරන බවට ලැබෙන වාර්තා සහ ස්ථාවර සාම යෝජනාවක් මඟහැරී යාම හේතුවෙන් මැදපෙරදිග සටන් විරාමය අන් කවරදාටත් වඩා බිඳවැටීමේ අවදානමක පවතින මොහොතක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයක දැක්වුණේ, කිසිදු ප්‍රකෝප කිරීමකින් තොරව එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව සහ කිසිදු තත්ත්වයක් යටතේ තම රටේ ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට එල්ල වන කිසිදු තර්ජනයක් නොඉවසන බවත්ය.

මෙම ප්‍රහාර භයානක ලෙස තත්ත්වය උග්‍ර කිරීමක්, පිළිගත නොහැකි ආක්‍රමණශීලී ක්‍රියාවක් සහ රටේ ආරක්ෂාවට එල්ල වූ සෘජු තර්ජනයක් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.