June 15, 2023

ශ්‍රී ලංකා රේගුව සහ ලංකා දුම්කොළ සමාගම (CTC) එක්ව මෙරට ඉතිහාසයේ සොයාගත් විශාලතම නීතිවිරෝධී දුම්වැටි තොගය විනාශ කරදමනු ඇත.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම 2021 වසරේදී රුපියල් බිලියන 9.7ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති අතර, දුම්වැටි මිලියන 200ක එම තොගය කන්ටේනර් 21ක අසුරා තිබේ.

රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සරත් නෝනිස්, විෂයභාර මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසකගේ නිරීක්ෂණය යටතේ අද පෙරවරුවේ මුතුරාජවෙල පිහිටි අපද්‍රව්‍ය බලශක්ති තාප බලාගාරයේදී මෙම දුම්වැටි විනාශ කිරීමට නියමිතය.

‘සිලෝන් බ්ලැක් ටී’ ලෙස නම්කරමින්, යුරෝපීය ගමනාන්ත ගණනාවකට නැවත නැව්ගත කිරීම සඳහා පැමිණි කන්ටේනර් ගණනාවක කොටසක් ලෙස, ඩුබායි සිට 2021 මැයි මාසයේදී කන්ටේනර් 21 ක් තුළ මිලියන 200 කට අධික මෙම නීති විරෝධී සිගරට් තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.

දේශීය අපනයනකරුවකුට ඩුබායිහි වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයකුගෙන් මෙම හොර බඩු ලැබී ඇති අතර, එම හොර බඩු නෙදර්ලන්තය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඇතුළු ගමනාන්ත රැසකට නැවත නැව්ගත කිරීමට නියමිතව තිබී ඇත.

2021 දී ඔරුගොඩවත්ත ශ්‍රේණිගත බහාලුම් පර්යන්තයේ (RCT) මෙම හොර බඩු ජනමාධ්‍ය වෙත ප්‍රදර්ශනය කර ඇති අතර, විනාශ කිරීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීමට වසර දෙකකට වැඩි කාලයක් ගත වූ බව රේගුව පවසයි.

(Dailymirror)