November 15, 2026

2018 වසරේ සිදුවූ ‘සෑන්ඩ්පේපර්ගේට්’ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැට් කමින්ස් ඉදිරිපත් කළ කරුණුවලට අභියෝග කරන තෙවැනි ක්‍රීඩකයා බවට හිටපු ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක චැඩ් සේයර්ස් පත්ව තිබේ. පන්දුව පළුදු කිරීමේ සැලැස්ම පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රීඩක විවේකාගාරයේ සිටි සියලු දෙනාම දැන සිටි බව ඔහු ප්‍රකාශ කර ඇත.

‘SEN’ ගුවන්විදුලිය සමඟ අදහස් දක්වමින් සේයර්ස්, උස්මාන් කවාජා සහ ඩේවිඩ් වෝනර්ගේ ප්‍රකාශ තහවුරු කරමින් කියා සිටියේ ටෙස්ට් තරග දෙකකදී වැලි කඩදාසි භාවිත කර ඇති බවත්, ඒ පිළිබඳව ක්‍රීඩක විවේකාගාරය තුළ සාකච්ඡා කෙරුණු බවත්ය.

“මම දැන් ඉන්න තැන ඉඳන් කිසිම චකිතයකින් තොරව කියනවා සිදුවෙන්නේ කුමක්ද කියලා හැමෝම දැනගෙන හිටියා කියලා,” යැයි සේයර්ස් පැවසීය.

තමන් පිටියට පානීය ජලය රැගෙන යන අවස්ථාවකදී කැමරන් බැන්ක්‍රොෆ්ට් විසින් අදාළ වැලි කඩදාසිය තමන් අතට දීමෙන් පසු, තමා විසින්ම එය පිටියෙන් ඉවත් කළ බව ද ඔහු හෙළි කළේය.

වැලි කඩදාසි කුමන්ත්‍රණය පිළිබඳව තමා කිසිවක් නොදැන සිටි බවට කමින්ස් ඉකුත් සිකුරාදා සිදු කළ ප්‍රකාශයට මෙම කරුණු මගින් සෘජුවම අභියෝග එල්ල වී තිබේ.

මේ අතර, 2018 වසරේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිදු කළ පරීක්ෂණය පිළිබඳව ප්‍රශ්න කර ඇති ඩේවිඩ් වෝනර්, ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කළ බවට තමන්ව දැනුවත් නොකළ බවට චෝදනා කරයි.

සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය, නව පරීක්ෂණයක් පවත්වන ලෙස කෙරෙන ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත්ට මාස 12 බැගින් තරග තහනම් පැනවුණු අතර, කැමරන් බැන්ක්‍රොෆ්ට්ට මාස නවයක තරග තහනමක් නියම විය.