November 15, 2026

ගෘහස්ථ ගෑස් මිල ගණන් පසුගියදා විශාල ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස දන්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් කැඳවා තිබේ.

හෙට (නොවැම්බර් 16) පෙරවරු 10.00 ට අධිකාරිය හමුවේ පෙනීසිට මෙම මිල සංශෝධනය පිළිබඳව කරුණු පැහැදිලි කරන ලෙස අදාළ සමාගමේ නියෝජිතයින්ට දැනුම් දී ඇති බව එම අධිකාරිය පවසයි.

නොවැම්බර් 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ දැමීමට පියවර ගත්තේය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,965 සිට රුපියල් 6,740 දක්වා රුපියල් 1,775 කින් ඉහළ දමා තිබේ.

මේ අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,988 සිට රුපියල් 2,720 දක්වා රුපියල් 732 කින් ඉහළ දමා ඇත.

අන්තර්ජාතික වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යෑම මෙන්ම නැව්ගත කිරීමේ සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාව සඳහා තොග වශයෙන් ගෑස් සැපයුම් ලබා ගැනීමේ පිරිවැය වැඩි වීම මෙම මිල සංශෝධනයට හේතු වූ බව සමාගම පවසා තිබිණි.

මෙම මිල ඉහළ දැමීමට අදාළ හේතු පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සමාගමේ නිලධාරීන් මෙලෙස කැඳවා තිබේ.