November 15, 2026

වන අලි ඇතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමත්, මිනිස් ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් අලි–මිනිස් ගැටුම අවම කිරීමත් අරමුණු කරගත් ‘හස්ති සේනා’ ජාතික මෙහෙයුම යටතේ තිරප්පනේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී, වන සතුන් දඩයම් කිරීම සඳහා යොදාගන්නා අනවසර ගිනි අවි, බඳින තුවක්කු, හක්කපටස්, මදු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයාගෙන තිබේ.

ගල්කුලම, ගැටමාලාකන්ද, මුරියාකඩවල, පෙරියමියන්කුලම, කිරින්දේගම, නිරාවිය, තලගුලු විහාරය, නබඩවැව, වන්නන්කුලම, ඔරුක්කන්කුලම සහ කුට්ටිමඩුව ඇතුළු ප්‍රදේශ රැසක් ආවරණය කරමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි.

පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, 212 වැනි පාබල බලසේනාව යටතේ පවතින 7 වැනි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රධාන දායකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

21 වැනි සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කමින්ද සිල්වාගේ සහ 212 වැනි පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුරංග බස්නායකගේ අධීක්ෂණය යටතේ, 7 වැනි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ප්‍රභාත් අබේවික්‍රමගේ මෙහෙයවීමෙන් සහ බලඝණාධිපති මේජර් දිමුතු මුල්ලේවිදානගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම සංවිධානය කර තිබිණි.

මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදා නිලධාරීන් 07 දෙනකු සහ සෙසු නිලයන් 68 දෙනකු ඇතුළුව 75 දෙනකුගෙන් සමන්විත යුද හමුදා කණ්ඩායමක් එක්ව සිටියහ.

එමෙන්ම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂ චන්න සුරවීර ඇතුළු තිරප්පනේ බීට්ටු වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂකවරුන් 03 දෙනකු, අඩවි සහකාරවරුන් 06 දෙනකු, වනජීවී නියාමකවරුන් 08 දෙනකු සහ ජ්‍යෙෂ්ඨ සහායක නිලධාරීන් 02 දෙනකු ද මෙම විශේෂ මෙහෙයුමට සහභාගී වූහ.
පරිසර අමාත්‍යාංශයේ උපදේශක රවීන්ද්‍ර කාරියවසම් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය